නිමල් රාජපක්ෂ-
Global CIO Forum සහ Global Enterprise Connect (GEC) ශ්‍රී ලංකා රජය සමග එක්ව සංවිධාන කරන ලෝක CIO 200 සමුළුව – 2026 හි අවසාන මහා තරඟාවලිය (World CIO 200 Grand Finale 2026) සැප්තැම්බර් මස 22 – 25 දක්වා කොළඹ Cinnamon Life හි දී පැවැත්වේ. රටවල් 50 කට වැඩි ගණනකින් CIO වරුන් සහ තාක්ෂණික නායකයින් 200 කට වැඩි පිරිසක් මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් විද්‍යා තාක්ෂණ අමාත්‍ය මහචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින පැවැත්විණි.
කෘත්‍රිම බුද්ධිය (AI), ඩිජිටල් පරිවර්තනය, නවෝත්පාදන, සයිබර් ආරක්ෂණ ප්‍රතිරෝධීතාව, ඩිජිටල් ස්වෛරීභාවය, ව්‍යවසායක සහයෝගීතාව සහ දේශසීමා හරහා සිදු කෙරෙන ඩිජිටල් හවුල්කාරිත්වයන් ඇතුළු වර්තමාන තාක්ෂණික ක්ෂේත්රයේ වැදගත් මාතෘකා පිළිබඳව මෙහිදී ඉහළ මට්ටමේ ජාත්‍යන්තර සංවාද පැවැත්වීමට නියමිතය.
ජාත්‍යන්තර තාක්ෂණ නායකයින් සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය, ව්‍යාපාරික, පර්යේෂණ හා නවෝත්පාදන ක්ෂේත්‍ර නියෝජිතයින් අතර සම්බන්ධතා සහ සහයෝගීතාව වර්ධනය කිරීමටද මෙම සමුළුව අවස්ථාව සලසනු ඇත. ශ්‍රී ලංකාවේ තාක්ෂණික හැකියාවන්, මානව සම්පත්, පර්යේෂණ හා නවෝත්පාදන පරිසර පද්ධතිය, ආයෝජන අවස්ථා සහ වර්ධනය වෙමින් පවතින ඩිජිටල් ආර්ථිකය ජාත්‍යන්තරයට හඳුන්වා දීමට මෙය වැදගත් වේදිකාවක් වන අතර, ශ්‍රී ලංකාව නැගී එන ඩිජිටල් හා නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් ලෙස ජාත්‍යන්තරව ස්ථානගත කිරීමටද මනා පිටුවහලක් වනු ඇත.
මෙහි දී අදහස් දැක් වූ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා මෙසේ පැවසීය.
“ලෝක CIO 200 සමුළුව හරහා ශ්‍රී ලංකාවට අයෝජන අවස්ථා වැඩි වශයෙන් උදාකර ගැනීම අපේ ප්‍රධාන අරමුණයි. ඒ සමගම ශ්‍රී ලංකාවේ නවෝත්පාදන සහ පර්යේෂණ වෙනුවෙන් ගෝලීය අවධානය ලබා දීම තවත් අරමුණක් වෙනවා. ශ්‍රී ලංකාවේ ඩිජිටල් සහ නවෝත්පාදන පද්ධතිය මෙන්ම ජාතික ආයතනවල පර්යේෂණ ප්‍රතිඵල ප්‍රදර්ශනය කිරීමට මෙමගින් අවස්ථාව සැලසෙනවා. මෙය ජාත්‍යන්තර තාක්ෂණික නායකත්වය සහ මෙරට විශ්වවිද්‍යාල, පර්යේෂකයන්, නව නිපැයුම්කරුවන්, තාක්ෂණික සමාගම්, ව්‍යවසායකයින් අතර වැදගත් සබඳතාවක් ගොඩනඟනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය මේ සඳහා නායකත්වය ගෙන කටයුතු කරනවා. ”
Global Enterprise Connect හි ප්‍රධාන විධායක නිලධාරී සහ සම-නිර්මාතෘ රොනැක් සමන්තරායි (Ronak Samantaray) මහතා මෙසේ සඳහන් කළේය. “වසර ගණනාවක් පුරා World CIO 200 ගමන මඟින් විවිධ රටවල් සහ මහද්වීප පුරා සිටින තාක්ෂණික නායකයින් එකිනෙකා හා සම්බන්ධ කර ඇත. 2026 දී, එම ගෝලීය සංවාද කොළඹට එක්රැස් වෙනවා. ලෝකය ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස පමණක් නොව, ප්‍රබල තාක්ෂණික පරිසර පද්ධතියක්, දක්ෂතා පූර්ණ ආර්ථිකයක් සහ ඩිජිටල් අනාගතයේ විශ්වාසනීය සහකරුවෙකු ලෙස හඳුනා ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.”
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා මෙසේ පැවසීය. “මෙම සමුළුව අපේ රටේ නව නිපැයුම් කරන නිර්මාණකරුවන්ට සහ නවෝත්පාදකයින්ට අනගි අවස්ථාවක් වෙනවා. ඒ වගේම සංචාරක කර්මාන්තය ඇතුළු සෙසු ව්‍යාපාරයන් ලෝක මට්ටමට ගෙන යාමටත් හොඳ වේදිකාවක් සපයනවා. ”
