Spread the love

නිමල් රාජපක්ෂ
ශ්‍රි ලංකාවේ අපනයන විභවයන් සහ ආයෝජන අවස්ථා ප්‍රදර්ශනය කිරීම සඳහා ගෝලීය වෙළඳ වේදිකාවක් නිර්මාණය කිරීම අරමුණුකරගනිමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සංවිධානය කරන “ශ්‍රී ලංකා එක්ස්පෝ 2026” ජාත්‍යන්තර ප්‍රදර්ශනය නිල වශයෙන් දියත් කිරීම කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රදානත්වයෙන් අද (09 දා) කොළඹදී සිදුකරන ලදී.
2026 ජුනි 18 සිට 21 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී (BMICH) දී පැවැත්වීමට නියමිත “ශ්‍රී ලංකා එක්ස්පෝ” ජාත්‍යන්තර ප්‍රදර්ශනය 2012 දී පැවැත්වීමෙන් පසුව මෙවර පවත්වන්නේ වසර 14 කට පසුව වන අතර ශ්‍රී ලංකාවේ විවිධ කර්මාන්ත, නිෂ්පාදන, සේවා සහ ආයෝජන අවස්ථා ජාත්‍යන්තර ව්‍යාපාරික ප්‍රජාවට ප්‍රදර්ශනය කිරීම සඳහා ප්‍රමුඛ ගෝලීය වේදිකාවක් ලෙස ” ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 “කටයුතු කරනු ඇත.


මෙවර පවත්වන ” ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 ” ප්‍රදර්ශණය ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම උපයෝගී කරගනිමින් අපනයන වර්ධනය කරගැනීමටත්, විදේශ ආයෝජන ආකර්ෂණය කරගනිමින් මෙරට ආර්ථිකය ශක්තිමත් කර 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36ක අපනයන ආදායමක් ලබා ගැනීමේ ජාතික ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා මඟපාදනු ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසීය.


“ශ්‍රී ලංකා එක්ස්පෝ 2026” ප්‍රදර්ශනය කාර්මික , කෘෂිකාර්මික හා අපනයන සේවා යන අංශ 3 නියෝජනය කරමින් ඇඟලුම්, රෙදිපිළි සහ විලාසිතා , මැණික් සහ ස්වර්ණාභරණ, බෝට්ටු නිෂ්පාදනය, ඉංජිනේරු සහ මෝටර් රථ සංරචක, රබර් හා පොලිමර් නිෂ්පාදන, විදුලි සහ ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන, හස්ත කර්මාන්ත නිෂ්පාදන, ඖෂධ, ඛනිජ හා ඛනිජ පදනම් කරගත් නිෂ්පාදන, තේ, කුළුබඩු , පොල් ආශ්‍රිත නිෂ්පාදන, ධීවර, සැකසූ ආහාර සහ බීම, ආයුර්වේද සහ ශාකසාර නිෂ්පාදන, කැපූ මල් සහ කොළ, විසිතුරු මත්ස්‍යයින්, පලතුරු සහ එළවළු, තොරතුරු සන්නිවේදන තාක්ෂණය / ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය, සමුද්‍ර හා අක්වෙරළ සේවා, ලොජිස්ටික්ස්, ඉදිකිරීම් සහ පුනර්ජනනීය බලශක්තිය, සුවතා සහ සෞඛ්‍ය සේවා ඇතුළු කර්මාන්ත ක්ෂේත්‍ර 24 ක් ආවරණය කරමින් සංවිධානය කර තිබෙයි. අපනයනය ශක්‍යතාව සහිත කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SMEs) ඇතුළුව අපනයනකරුවන් 750 දෙනෙක් හා ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර ගැනුම්කරුවන් සහ ආයෝජකයින් 1,500 දෙනෙක් මෙම ප්‍රදර්ශණය නියෝජනය කරනු ඇත.


ආයෝජක සංසද, කර්මාන්ත සැසි , ව්‍යාපාරික හමුවීම් (B2B), ශ්‍රී ලාංකික නිර්මාණකරුවන්ගේ විලාසිතා සංදර්ශන, දේශීය ආහාර උසස් කරන සූපශාස්ත්‍ර සංදර්ශන, සංස්කෘතික ප්‍රසංග, සජීවී නිෂ්පාදන ප්‍රදර්ශන යන අංග වලින්ද “ශ්‍රී ලංකා එක්ස්පෝ 2026” අන්තර්ගතවෙයි.
මෙහිදී අදහස් දක්වූ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, මෙම ප්‍රදර්ශණය ශ්‍රී ලංකාවේ දේශිය නිෂ්පාදන ගෝලීය වශයෙන් ව්‍යාප්ත කිරීමට සහ ජාත්‍යන්තර වෙළඳපොළේ අපගේ පැවැත්ම ශක්තිමත් කිරීමට ගන්නා ලද සුවිශේෂී උපායමාර්ගික පියවරක් ලෙස වැදගත් වන බවත් මෙමගින් රජයේ ප්‍රතිපත්ති සහ පෞද්ගලික අංශයේ හැකියාවන් එකිනෙකට සම්බන්ධ කරමින්, රටේ දිගුකාලීන ආර්ථික සහ තිරසාර වර්ධනයක් ඇති කිරීමට හැකියාවක් ලැබෙන බව පැවසීය. එසේම “ශ්‍රී ලංකා එක්ස්පෝ 2026” යනු අපගේ ශ්‍රී ලාංකික නිෂ්පාදන ලෝක වෙළඳපොළට රැගෙන යන ශක්තිමත් පාලමක් බවත් එමඟින් දේශීය ව්‍යවසායකයින්ට ජාත්‍යන්තර අවස්ථාවන් රැසක් උදාකරගත හැකි වන බවද පැවසීය.


කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය මෙහිදී අදහස් දක්වමින්, මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 16% ක් පමණ වන වෙළඳ භාණ්ඩ අපනයන ආදායම 2030 වන විට 20% ක් දක්වා වැඩි කරමින් ඇමරිකානු ඩොලර් බිලියන 28 ක් දක්වා වර්ධනය කර ගැනීමත් කර්මාන්ත සඳහා වෙන්කර ඇති ඉඩම් ප්‍රමාණය 2030 වන විට 1% ක් දක්වා වැඩි කර ගැනීමත් කර්මාන්ත අමාත්‍යාංශයේ ඉලක්කය බව පැවසූවාය. මෙම “ශ්‍රී ලංකා එක්ස්පෝ 2026” ප්‍රදර්ශණය හරහා වේගයෙන් පරිණාමණය වන ගෝලීය වෙළඳපළ තුළ ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්ත ගෝලීය වෙළඳපොළට ප්‍රදර්ශනය කිරීමත්, ව්‍යාපාරිකයින්, ආයෝජකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් සඳහා වේදිකාවක් නිර්මාණය කිරීමට හා දකුණු ආසියාවේ ප්‍රධාන වෙළඳ හා ආයෝජන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට හැකියාව ලැබෙනු ඇති බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.
“ශ්‍රී ලංකා එක්ස්පෝ 2026” ප්‍රදර්ශනයේ නිල වෙබ් අඩවිය විවෘත කිරීමද මෙහිදී සිදුවිය.
මෙම අවස්ථාව සඳහා අමාත්‍ය කුමාර ජයකොඩි, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, අරුන් හේමචන්ද්‍ර, එරංග වීරරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විදේශ තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් ඇතුළු විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයින්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ඉහළ රාජ්‍ය නිලධාරීන්, ආයෝජකයින්, වාණිජ මණ්ඩල ප්‍රධානීන්, අපනයනකරුවන් ඇතුළු සම්භාවනීයන් රැසක් සහභාගි වූහ.