Spread the love

මීගොඩ, ආටිගල මාවතේ දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී අද (12) දහවල්වෙඩි වැදීමකින් බරපතළ තුවාල ලබා සිටි හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව මහතාට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. එහිදී බරපතළ තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර සිටිය දී ඒ මහතා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

ඔහු 46 හැවිරිදි වටරැක, පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෙඩිතැබීමට හේතුව හා යොදාගත් ගිනිඅවිය සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ශාන්ත මුදුන්කොටුව මහතා ඉඩම් ආරවුල් සම්බන්ධයෙන් පොලීසියට මීට පෙර පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කර සිට ඇතැයි ද අනාවරණය වී තිබේ.

මීගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.