Spread the love

නිමල් රාජපක්ෂ

ශ්‍රී පාදස්ථානය ඇතුළු සංචාරක ආකර්ෂණය දිනා ගත් ස්ථාන කීපයක කේබල් කාර් ව්‍යාපෘති ආරම්භ කිරිම සම්බන්ධයෙන් විදේශ සබඳතා, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සංචාරක කාර්යසාධන බලකායේ රැස්වීමේදී අවධානය යොමු විය.

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කරන ලෙස කාලයක් තිස්සේ විවිධ පාර්ශ්ව ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවද, ඊට අමතරව කිකිළියාමාන, ඇල්ල ඇතුළු සංචාරක ස්ථාන කීපයක්ද එලෙස කේබල් කාර් ව්‍යාපෘති ආරම්භ කළ හැකි ස්ථාන ලෙස හඳුනාගෙන ඇති බවද මෙහිදී සඳහන් විය. මෙම ස්ථානවල එම ව්‍යාපෘතිය ආරම්භ කිරිම පිළිබඳ ශක්‍යතා අධ්‍යයනය කර, ඊට අවශ්‍ය මූලික අවසරයන් ලබා ගැනීමටත්, ඒ සඳහා ඉදිරිපත් කළ යුතු වාර්තා පිළිබඳව සොයා බැලීමටත් මෙහිදී අවධානය යොමු කෙරිණි.

මැයි මස 25 වන දා සිට රටවල් 40කට නිදහස් වීසා පහසුකම ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් විය. එම පහසුකම ලබා දීමෙන් සංචාරකයින්ගේ පැමිණීම ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

යාල ඇතුළු වනෝද්‍යාන 19ක සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය සඳහා වනජීවි දෙපාර්තමේන්තුවට ලබා දී ඇති ඉලක්ක සපුරාලීමේ ප්‍රගතිය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි. ඒ සඳහා වැඩපිළිවෙළක් මේ වන විට ආරම්භ කර ඇති බවද, ඒ සියලු ස්ථානවල වැසිකිලි ඇතුළු සනීපාරක්ෂක පහසුකම් පිළිබඳ නඩත්තු කටයුතු පෞද්ගලික ආයතනයකට ලබා දී ඇති බවද මෙහිදී සඳහන් වූ අතර, එම ස්ථානවල අලුතෙන් වැසිකිලි පද්ධති ස්ථාපිත කිරීම පිළිබඳවද අවධානය යොමු විය. මෙය සුළු ගැටලුවක් ලෙස පෙනුණද සංචාරකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමේදී ඉතාමත් වැදගත් කරුණක් වන බවද මෙහිදී අවධාරණය කෙරිණි.

කොල්ලුපිටියේ සිට මුහුදුබඩ මාර්ගය ආශ්‍රිතව සංචාරක ආරක්ෂණය දිනා ගත හැකි සංචාරක කලාපයක් ස්ථාපිත කිරීම පිළිබඳවද සාකච්ඡාවට ගනු ලැබිණ. මේ වන විට සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතියෙන් සංචාරකයින් 2000ක් 3000ක් පමණ ආකර්ෂණය කර ගැනීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වේ.

මෙම සාකච්ඡාවට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, විදේශ සබඳතා, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, විදේශ සබඳතා, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එස්. අයි. එල්. නසීර්, වනජීවි දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ නිලුෂි අබේවික්‍රම, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මල්කාන්ති රාජපක්ෂ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරිහු පිරිසක් එක්ව සිටියහ.