.දේවින්ද පිණිදිය
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සහ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමෙය් නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් අප්‍රේල් 23 වනදා පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පවත්වනු ලැබීය.
මෙහි දී වෘත්තීය සමිති නියෝජිතයින් ඉදිරිපත් කළ වෘත්තීය ගැටළු අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සියලු ශ්‍රේණි සඳහා වෙන වෙනම රාජකාරී ලැයිස්තු සකස් කිරීම, යතුරු පැදි ලබා ගැනීම, පුහුණුව සඳහා අලුතින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බඳවා ගැනීම, ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක තනතුර පිරවීම, සේවාස්ථ පුහුණු පාඨමාලාවන් ආරම්භ කිරීම, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පුහුණුව කඩිනම් කිරීම, රාජකාරී වේලාව සංශෝධනය කිරීම, ඩිජිටල් සෞඛ්‍ය පද්ධතියක් සකස් කිරීම, මහජන සෞඛ්‍ය උපාධි පාඨමාලාවන් කඩිනම් කිරීම, ආහාර සාම්පල පරීක්ෂණ රසායනාගාර පළාත් මට්ටමින් ස්ථාපිත කිරීම, දුරකතන දීමනාව වැටුපට එකතු කිරීම යන කරුණු ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඒ අතර විය.
එමෙන්ම එම නිලධාරීන්ගේ වෘත්තීය ක්ෂේත්රයට බලපානු ලබන විශේෂ කරුණු කීපයක් පිළිබඳව ද මෙහි දී වඩාත් පුළුල්ව සාකච්ඡාවට භාජනය කරන ලදී.
මෙරට සෞඛ්‍ය සේවාවේ මහජන සෞඛ්‍ය අංශයේ සංවර්ධනය වෙනුවෙන් කැප වී කටයුතු කරන වෘත්තියක් ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදුකරන මෙහෙවර සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඇගයීමට මෙහි දී ලක් විය.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමෙය් නියෝජිතයින් විසින් ඉදිරිපත් කළ ඉල්ලීම් පිළිබදව විශේෂ අවධානය යොමු කල අමාත්‍යවරයා එම ගැටළු කඩිනමින් නිරාකරණය කිරීම සඳහා අමාත්‍යාංශය නියෝජනය කරමින් සාකච්ඡාවට එක්වූ නිලධාරින්ට අවශ්‍ය උපදෙස් ද මෙහි දී ලබා දෙන ලදී.
අනෙකුත් වෘත්තීන් හට බලපෑමක් ඇති නොවන අයුරින් මෙම ඉල්ලීම් ඉටුකිරීමට කටයුතු කරන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා සමස්ත සෞඛ්‍ය සේවාවේ සිය වෘත්තීය රාජකාරි ඉටු කරන වෘත්තිකයින්ට බලපාන වෘත්තිය ගැටළු වලට කඩිනම් විසදුම් ලබාදීමෙන් ඔවුන් තෘප්තියට පත්වන බවත්, ඒ තුළින් ඔවුන්ගෙන් කාර්යක්ෂම, ගුණාත්මක සේවාවක් ලබා ගැනීමට හැකියාව ලැබෙන බව ද මෙහි දී අවධාරණය කර සිටියේ ය.
මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්වන විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ, චාමික එච්. ගමගේ, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරුන්වන විශේෂඥ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර ආනල්ඩ්, සිසිර හර්ෂප්‍රිය කුමාර, අධ්යක්ෂවරුන් වන සමන්ත රණසිංහ, උපුලී විජේමාන්න, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.එච්. කරුණාරත්න, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති කේ.ඒ.පී. බොරලැස්ස, උප සභාපති නිශාන්ත ගමගේ, සංස්කාරක එල්.ඒ. තිලකසිරි මහත්ම මහත්මීන් ඇතුළුව වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටියහ.
