නිමල් රාජපක්ෂ-
පේරාදෙණිය විශ්ව විද්‍යාලය, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) සමඟ සහයෝගයෙන්, අද සිට( ජුනි 10 ) “ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSMEs) බලගැන්වීම: අභියෝග, අවස්ථා සහ ඉදිරි මාවත” යන මැයෙන් ජාතික සමුළුවක් කොළඹ 05 දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙදී පැවැත් පැවැත්විණ
. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ බහුවිධ පර්යේෂණ ප්‍රදාන අංක 393/2024 යටතේ සංවිධානය කරනු ලබන මෙම සමුළුව සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින්, විද්වතුන්, සංවර්ධන වෘත්තිකයන්, කර්මාන්ත නායකයින්, මූල්‍ය ආයතන සහ ව්‍යවසායකයින් රැසක් සහබාගි වුහ. එහිදී ශ්‍රී ලංකාවේ MSME අංශය ශක්තිමත් කිරීම සඳහා උපායමාර්ග සාකච්ඡා කෙරිණ.
මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහභාගී වු අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් එහි උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ටෙරන්ස් මධුජිත්; විශ්වවිද්‍යාල පර්යේෂණ සභාවේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනක ඒකනායක, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් කොඩිතුවක්කු; ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල; සහ මහාචාර්ය අතුල ඒකනායක යන මහත්වරුන්ද, NEDA ආයතනය නියෝජනය කරමින් එහි සභාපති ලක්ෂ්මන් අබේසේකර; සහ අධ්යක්ෂ ධනුක ලියනගමගේ යන මහත්වරුන්ද සහභාගී වුහ. තවද, ඕස්ට්‍රේලියාවේ Swinburne විශ්වවිද්‍යාලයේ ආචාර්ය චමින්දිකා වීරකෝන් මහත්මිය zoom තාක්ෂණය ඔස්සේ මාර්ගගත ක්‍රමයට සහභාගිවිය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කොඳු නාරටිය ලෙස MSME පිළිගැනෙන අතර, රැකියා උත්පාදනය, නවෝත්පාදනය, කලාපීය සංවර්ධනය සහ දරිද්‍රතාවය අඩු කිරීම සඳහා සැලකිය යුතු දායකත්වයක් සපයයි. කෙසේ වෙතත්, මෑත කාලීන ආර්ථික අභියෝග හමුවේ මෙම අංශය අවදානමකට ලක්වූ අතර, ඉන් මිදීම සදහා සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්ති සහ ශක්තිමත් ආයතනික සහයෝගයක අවශ්‍යතාවය මතුවී ඇත. ඒ අනුව මෙම සමුළුව මගින් ප්‍රතිපත්ති සංවාදයට පහසුකම් සැලසීම සහ MSME ඔරොත්තු දීමේ හැකියාව, තරඟකාරිත්වය සහ දිගුකාලීන තිරසාරභාවය වැඩි දියුණු කළ හැකි උපායමාර්ග පිළිබද සාකච්ඡ කිරීම අරමුණු ගත කොට ඇත.
පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ NEDA ආයතනය එක්ව මධ්‍යම පළාතේ MSME 1,000 ක් ඇතුලත් කොට සිදු කල සමීක්ෂණයකින් සොයා ගත් කරුනු ඉදිරිපත් කිරීමද මෙම උත්සවයේ ප්‍රධාන කැපී පෙනෙන සිදුවීමක් වනු ඇත. මෙම අධ්‍යයනය MSME වල මූල්‍ය තිරසාරභාවය, පැවැත්මේ හැකියාව සහ අර්බුද සදහා ප්‍රතිචාර දැක්විමේ උපාය මාර්ග පිළිබද පරීක්ෂා කල අතර ප්‍රතිපත්ති සම්පාදනය සඳහා වටිනා තොරතුරු සපයාදේ.
තවද, ව්‍යවසායකත්වය සහ MSME තිරසාරභාවය ඇතුළුව MSME සංවර්ධනයට අදාළ ප්‍රධාන ගැටළු ගවේෂණය කරනු ලැබූ ග්‍රන්තයක් ලෙස “ශ්‍රී ලංකාවේ MSME බලගැන්වීම: අභියෝග, අවස්ථා සහ ඉදිරි මාවත” යන පොත එළිදැක්වීම ද මෙම සමුළුවේදී සිදුවිය.
මෙම සමුළුවේ තවත් වැදගත් අංගයක් වුයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ NEDA ආයතනය එක්ව ගොඩ නැගීමට නියමිත ශ්‍රී ලංකා ව්‍යවසාය පරිසර දර්ශකය (Sri Lanka Enterprise Climate Index – SLECI) ප්‍රකාශයට පත් කිරීමයි. මෙම දර්ශකය මගින් MSME ව්‍යවසාය සදහා මූල්‍ය, වෙළඳපල, තාක්ෂණය, කුසලතා සහ ආයතනික සහාය සඳහා ප්රවේශවීමේ දී දිස්ත්‍රික්ක අතර පවතින විෂමතා හඳුනා ගැනීමට හැකි වේ.
අවසාන වශයෙන් මෙම සමුළුව මගින් ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික පරිවර්තනය මෙහෙයවිය හැකි වඩාත් ඔරොත්තු දෙන, නව්‍ය සහ තරඟකාරී MSME අංශයකට සහාය වීම සඳහා ප්‍රායෝගික යෝජනා නිර්දේශ කෙරේ. තවද විශ්වවිද්‍යාල, රජය සහ කර්මාන්ත අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමක්ද මෙම සමුළුව මගින් අපේක්ෂා කෙරේ.
