ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලයේ නව බස්නායක නිලමේවරයා ලෙස රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවෙකු වන රත්නපුර , ගොඩකවෙල, ගොඩහැල වලව්වේ වර්තමාන හිමිකරැ වන සංඛ මාපිටිගම මහතා ඡන්ද 6 ක් ලබාගෙන වැඩි ඡන්දයෙන් තේරී පත් විය.
හිෂාන් සංඛ මාපිටිගම මහතා අද (2025.08.20) දින, ඉදිරි වසර පහ (05) සඳහා තේරීපත්විය.
සබරගමුව මහ සමන් දේවාලය සඳහා නව බස්නායක නිලමේවරයෙකු තෝරා ගැනීම අද (20) දින රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්. ගාමිනී සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
නව බස්නායක නිලමේවරයෙකු තෝරාගැනීම සඳහා රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු 09 දෙනෙකුද, බොල්තුඹේ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා හා උග්ගල් අලුත් නුවර හා අම්මඩුව කුඩා කතරගම දේවාල දෙකේ තාවකාලික භාරකරුවන් දෙදෙනා (02) සුදුසුකම් ලබා තිබුණි.
ඒ අනුව මෙම නිලවරණය සඳහා ඡන්ද හිමියන් දොළොස් (12) දෙනෙකු සුදුසුකම් ලබා තිබුණි. ඉන් එකොළොස් (11) දෙනෙකු අද (20) පැවති නව බස්නායක නිලමේවරයා තෝරාපත් කර ගැනීමේ අවස්ථාවට සහභාගී වූ අතර ඉන් එක් අයෙකු ප්‍රකාශ කළ ඡන්දයක් ප්‍රතික්ෂේප විය. ඒ අනුව වලංගු ඡන්ද සංඛ්‍යාව 10 ක් ලෙස සටහන්ව තිබුණි.
ඒ අනුව වැඩි ඡන්ද ලබා ගත් (ඡන්ද 06 ක්) හිෂාන් සංඛ මාපිටිගම මහතා සබරගමුව මහ සමන් දේවාලයේ නව බස්නායක නිලමේවරයා ලෙස ඉදිරි වසර පහ (05) සඳහා තේරීපත්විය.
පරාජයට පත් වූ පුද්ගලයාට ආණ්ඩුවේ ප්‍රබල අනුග්‍රහයක් ලැබී තිබූ බවත් වාර්තා වෙයි.
