නිමල් රාජපක්ෂ
දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානයේ (SAARC) මහලේකම් තානාපති ගොලාම් සර්වර් මහතා, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා හමුවී සමුගැනීමේ නිල හමුවක් පැවැත්වීය.
මෙම හමුවේදී, නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා, ගොලාම් සර්වර් මහතා සිය ධුර කාලය තුළ සාර්ක් සාමාජික රටවල් අතර සබඳතා ශක්තිමත් කිරීමට සහ කලාපීය සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමට දැක්වූ කැපවීම අගය කළේය.
සාර්ක් සාමාජික රටවල් අතර සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ඇති පොදු කැපවීම පිළිබඳව මෙම හමුවේදී අදහස් හුවමාරු කරගනු ලැබීය. දකුණු ආසියාව මුහුණ දෙන පොදු අභියෝගවලට ප්‍රතිචාර දැක්වීම, ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීම, සම්බන්ධතා වැඩිදියුණු කිරීම සහ කලාපීය සහයෝගීතාව නැවත සක්‍රීය කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
සාර්ක් සංවිධානයේ අරමුණු ඉදිරියට ගෙන යාම සඳහා ඔහු ලබාදුන් දායකත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ඔහුගේ ඉදිරි කටයුතු සඳහා සිය හෘදයාංගම සුභාශිංසන ද එක් කළේය.
වඩාත් සම්බන්ධිත, සාමකාමී සහ සමෘද්ධිමත් දකුණු ආසියානු කලාපයක් ගොඩනැගීම වෙනුවෙන් සාර්ක් සංවිධානය සහ එහි සාමාජික රටවල් සමඟ සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ද මෙම හමුවේදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.
