Spread the love

නිමල් රාජපක්ෂ-

ශාරීරික සීමාවන් තම අධ්‍යාපන සිහිනවලට බාධාවක් කර නොගත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසු සිසුවියන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරන “සරසවි දිරියෝ අභිමන්” සුවිශේෂී ශිෂ්‍යාධාර වැඩසටහනේ තුන්වන වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ස්වාමී විපුලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතනයේදී ඊයේ (12) පැවැත්විණි.

මෙම වැඩසටහන යටතේ දැනට ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සියලුම සිසුන් ඇගයීමට ලක් කෙරුණු අතර, එක් සිසුවෙකුට රුපියල් ලක්ෂයක එක්වරක් පිරිනමන ශිෂ්‍යාධාරයක් ලබා දීමට ජනාධිපති අරමුදල කටයුතු කර තිබේ.

මෙහි පළමු වැඩසටහන කොළඹදී සහ දෙවන වැඩසටහන යාපනයේදී පැවැත්වුණු අතර එහි තුන්වන සහ අවසන් වැඩසටහන නැගෙනහිර පළාත තුළ ක්‍රියාත්මක විය. ඒ අනුව නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සහ අග්නිදිග විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසු සිසුවියන් 50 දෙනෙකු මෙහිදී ඇගයීමට ලක් කෙරුණු අතර සමස්ත වැඩසටහන මගින් මෙම වසරේ සිසුන් 400කට ආසන්න පිරිසක් ඇගයීමට ලක් කර ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය

මෙම අවස්ථාව ඉතා වටිනා අවස්ථාවක් ලෙස මම සලකනවා. අපේ රටේ සරසවි පද්ධතිය තුළ අධිෂ්ඨානයෙන්, කැපවීමෙන් සහ උත්සාහයෙන් සියලු බාධක ජයගෙන ඉදිරියට යන ඔබ වැනි ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් ඇගයීමට ලැබීම පිළිබඳ සතුටු වෙනවා. ඔබ සියලුදෙනා පිළිබඳ විශාල ආඩම්බරයක් මට දැනෙනවා. ඔබ හැම කෙනෙක්ම ජීවිතය පිළිබඳ අපිට පාඩමක් උගන්වනවා. අභියෝගවලින් පසු නොබැස ඉදිරියට යන්නේ කොහොමද කියලා ඔබ අපිට ආදර්ශයක් සපයනවා. ඔබ  සරසවිය දක්වා ගෙන  ආ දෙමාපියන්ට සහ ගුරුවරුන්ටත් මම ස්තූතිවන්ත වෙනවා.

අපේ රජයේ මූලික අභිප්‍රායක් වන්නේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සියලුදෙනා වෙනුවෙන් නිර්මාණය කිරීමයි. එම ගමනේදී කුමන අභියෝගයක් හමුවේ වුවද අපි කිසිම ශිෂ්‍ය ශිෂ්‍යාවක අතහැරෙන්න ඉඩ දෙන්නේ නැහැ. අපි උත්සාහ කරන්නේ සියලු දෙනාට ගෞරවනීය සහ සියලුදෙනාට සමානව සලකන අධ්‍යාපන පද්ධතියක් නිර්මාණය කිරීමටයි. ආබාධ සහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් රජයක් ලෙස වගකීම භාර ගැනීමට අපි කටයුතු කර තිබෙන්නේ ඒ නිසයි.

නිදහස් අධ්‍යාපනය කියන්නේ පොත්පත් ලබා දීම පමණක් නොවෙයි. ඉගෙන ගැනීමට අවශ්‍ය පරිසරය නිසි ලෙස නිර්මාණය කර දීමයි. අපි දන්නවා මේ වන විට විශ්වවිද්‍යාල සිසුන් මුහුණදෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ ඔවුන්ගේ නේවාසිකාගාර ප්‍රශ්නයයි. එම නේවාසිකාගාර ඉදිකිරීමේ ව්‍යාපෘතිය අපි මේ වසරේ ආරම්භ කර තිබෙනවා. ඒ අනුව වසර 03ක් තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 16,000කට පමණ නේවාසිකාගාර පහසුකම් ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. එම නේවාසිකාගාර අබාධ සහිත සිසුන්ටද පහසුකම් ලැබෙන ආකාරයට සකස් කිරීමට උපදෙස් ලබා දී තිබෙනවා.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා

ජනාධිපති අරමුදල ආරම්භ වන්නේ 1978දී පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද පනතකින්. මෙම අරමුදල කොළඹින් පිට ජනතාව අතරට යන්න වසර 47ක් ගත වෙනවා. මෙය ජනතාව අතරට යාමට තීරණය වන්නේ 2025 ජනවාරි 28 වන දින.  ඒ අනුව ජනාධිපති අරමුදල කොළඹට සීමා නොකර එහි සියලුම ක්‍රියාකාරකම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමට ගෙන ගොස් තිබෙනවා. මේ වන විට ජනාධිපති අරමුදලට ලැබෙන ඉල්ලුම් පත්‍ර 2024 වසරට සාපේක්ෂව 2025 වසරේ 59%කින් වැඩිවීමක් පෙන්නුම් කරනවා. 2026 වසරේදී එය 2025 මුල් මාස 08 සාපේක්ෂව 43.3%ක වැඩිවීමක්. දැන් ජනාධිපති අරමුදලේ සේවා ලබා ගැනීමට ජනතාවට දුර ගෙවාගෙන කොළඹට පැමිණීමට සිදු වන්නේ නැහැ.

ඒ වගේම මිට පෙර තෝරාගත් රෝහල් කිහිපයකින් ප්‍රතිකාර ලබා ගත් විට පමණයි ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමට හැකි වුණේ. දැන් සියලුම රෝහල් සඳහා එම සේවාව හිමි වෙනවා. වෛද්‍ය සේවාවන් පමණක් නොවෙයි ජනාධිපති අරමුදලින් කරන සියලු සේවාවන් 2025-06-21 වන විට ඩිජිටල්කරණය කිරීම මගින් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආවරණය කර තිබෙනවා. මෙම මෙහෙයුමේදී ප්‍රාදේශීය ලේකම්වරු සහ එම කාර්යමණ්ඩල ඉතා කාර්යක්ෂමව කටයුතු කරනවා. එම ප්‍රශංසනීය කාර්යභාරය වෙනුවෙන් ස්තූතිය පිරිනැමීමටද මම මෙය අවස්ථාවක් කර ගන්නවා.  මේ අන්දමින් අතීතයේදී එක්තරා පැලැන්තියකට පමණක් සීමා වූ ජනාධිපති අරමුදලේ භාවිතය රටේ සියලු ජනතාවට ලබා දීමට හැකිවීම පිළිබඳව මම මහත් සතුටට පත් වෙනවා.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා

මෙම අවස්ථාව නැගෙනහිර පළාතට පමණක් නොව මුළු රටටම වැදගත් අවස්ථාවක් බව මම විශ්වාස කරනවා. ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය විශ්වවිද්‍යාලවල සිටින විශේෂත්වයක් සහිත දරුවන්ට මෙවැනි ප්‍රදානයක් කිරීමට තීරණය කිරීම ගැන මම පුදුම වන්නේ නැහැ. ඒක අයිතියක්. ජනාධිපති අරමුදල මෙපමණ කාලයක් භාවිතා වුණේ දේශපාලනඥයන්ට සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට පහසුකම් සැපයීමටයි. එය ජනතාවගේ අරමුදලක් බවට පත් කළේ අපේ රජයයි. විවිධ දුෂ්කරතා හමුවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අය අතරේ ආබාධ සහිත දරුවෙකුට රුපියල් ලක්ෂයක් ලැබෙනවා කියන්නේ එය විශාල සහනයක්. ඒ නිසා කිසිවෙකු අත්නොහැරෙන යන පදනම යටතේ ජනාධිපති අරමුදල මේ ආරම්භ කළ වැඩපිළිවෙළ මුළු ශිෂ්‍ය පරපුරේම ආදරයට, ගෞරවයට ලක් වන තීරණයක්.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතා

ජනාධිපතිතුමා ප්‍රමුඛ ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය තීරණය කළා ඔබ වැනි විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අබාධ සහිත දරුවන් ඇගයීමට ලක් කළ යුතුයි කියලා.මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේ ලංකාවේ පළමු වතාවටයි. ජනාධිපතිතුමාට සහ ජනාධිපති අරමුදලට ඔබ විශිෂ්ට දරුවන් පිරිසක් වෙනවා. ඔබ වැනි විශිෂ්ට දරුවන් ඇගයීමට ලැබීම ජනාධිපති අරමුදලට භාග්‍යයක්. අපි මේ වැඩසටහන කොළඹ සහ යාපනය දිස්ත්‍රික්කවල පවත්වා නැගෙනහිර වැඩසටහනත් සමග එය සම්පුර්ණ වෙනවා. මින් ඉදිරියට විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන සෑම ආබාධ සහිත දරුවෙකුටම ජනාධිපති අරමුදලේ මේ රුපියල් ලක්ෂයක මූල්‍යාධාරය ලබා දෙනවා.

නැගෙනහිර පළාතේ මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.