නිමල් රාජපක්ෂ
ලබන ආබාධ සහිත පුද්ගලයන්ගේ නිෂ්පාදන හා නිර්මාණ ඇතුළත් “ස්වාභිමානී දිරිය නිපැයුම් – 2026” වෙළඳ ප්‍රදර්ශනය ඊයෙ (03) පෙරවරුවේ විෂයභාර අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, සෙත්සිරිපාය පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් ආරම්භ කෙරිණි.
සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන, කුසලතා සංවර්ධන මධ්‍යස්ථාන, පුණරුත්ථාපන මධ්‍යස්ථාන හා දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සිටින ආබාධ සහිත දරුවන් ඇතුළු, දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි ආබාධ සහිත පුද්ගලයන්ගේ නිෂ්පාදන හා නිර්මාණ ප්‍රදර්ශනය කරන වෙළඳ කුටි රැසකින් “ස්වාභිමානී දිරිය නිපැයුම් – 2026” සමන්විත වේ.
ඒ අනුව, විවිධ නිෂ්පාදන හා නිර්මාණ කටයුතුවල නියුතු ආබාධ සහිත පුද්ගලයන් සවිබලගැන්වීම, ඔවුන් ස්වෝත්සාහයෙන් නගා සිටුවීම, ජාතික ආර්ථිකයේ ක්‍රියාකාරී කොටස්කරුවන් බවට පත් කිරීම මෙන්ම ඔවුන්ගේ නිෂ්පාදන හා නිර්මාණ සඳහා ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීමක් සහ ප්‍රමිතියක් ලබාදීම මෙම වෙළඳ ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණ වේ.
එම අවස්ථාව අමතමින් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සඳහන් කළේ, ආබාධ සහිත පුද්ගලයන් “දෙවැනි පෙළ” පුරවැසියන් ලෙස නොව, ස්වාභිමානයෙන් යුත් ගෞරවනීය පුරවැසියන් ලෙස පිළිගැනීමට සමාජය සූදානම් විය යුතු බවයි. ඔවුන්ගේ විවිධත්වය (භාෂාව, ස්ත්‍රී/පුරුෂ භාවය හෝ ශාරීරික වෙනස්කම්) හුදු දුර්වලතාවක් ලෙස නොව, සමාජය තුළ අන්තර්කරණය කළ යුතු වටිනා ලක්ෂණයක් ලෙස දැකිය යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
තවද, ප්‍රදර්ශන කුටිවල ප්‍රදර්ශනය කර ඇති සෑම නිර්මාණයක් පිටුපසම විශාල කැපවීමක් සහ සැබෑ ජීවිත කතාවක් ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, ආබාධ සහිත බව නොසලකා තම හැකියාවන් ප්‍රදර්ශනය කරන මෙම විශිෂ්ට පිරිසගේ විභවය රටේ සංවර්ධනය සඳහා ඵලදායී ලෙස යොදාගත හැකි බවද ප්‍රකාශ කළේය.
අඩු ආදායම්ලාභී පවුල් සඳහා රජය ලබාදෙන “අස්වැසුම” සහනාධාර මුදල් පවා වංචා කිරීමට ඇතැම් රාජ්‍ය නිලධාරීන් පෙළඹී සිටීම ඉතාමත් කනගාටුදායක තත්ත්වයක් බවද, එවැනි සිදුවීම් මගින් සුපිළිපන් සමාජයක් ගොඩනැගීමේ අවශ්‍යතාව වඩාත් පැහැදිලි වන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
