(video)
නිමල් රාජපක්ෂ-
අක්ෂි රෝග සඳහා ජාතික මට්ටමේ සේවාවක් ලබාදෙනු ලබන සීදුව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ අක්ෂි සායනයේ ප්‍රතිකාර සේවා වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක තලයකට ඔසවා තැබීමේ අරමුණින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සෘජු අධීක්ෂණය හා මඟපෙන්වීම මත ක්‍රියාවට නැංවුණු “අක්ෂි සායනය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙත් ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය” අද (04) නිල වශයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.
මෙම රෝහලේ අක්ෂි ඒකකයේ (සායනයේ) කටයුතු ඩිජිටල්කරණය කිරීම සඳහා රුපියල් මිලියන තුනක මූල්‍ය පරිත්‍යාගයක් ලබාදීමට රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජික නීල් උමගිලිය මහතා විසින් කටයුතු කර ඇති අතර, ඒ අනුව මෙම ඩිජිටල්කරණ කටයුතු ස්ථාපිත කර ඇත.
අක්ෂි සායනය ඩිජිටල්කරණ වැඩපිළිවෙලට අදාළව පසුගිය මාස 06 ක් පුරා නියමු ව්‍යාපෘතියක් ද අක්ෂි සායනය තුළ ක්‍රියාවට නංවා රෝහල් කාර්ය මණ්ඩලයට අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව ලබාදීමට ද කටයුතු කර ඇත.
අක්ෂි සායනය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කරමින් එම වැඩපිළිවෙලේ ප්‍රගතිය සහ වත්මන් ක්‍රියාකාරිත්වය මෙන්ම අක්ෂි සායන වාට්ටු ද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගේ පරික්ෂාවට මෙහි දී ලක්විය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) තාක්ෂණික සහාය ඇතිව ශ්‍රී ලංකාවේ සමස්ත සෞඛ්‍ය පද්ධතියම ඩිජිටල්කරණය කිරීමේ ජාතික වැඩපිළිවෙළක් ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ක්‍රියාක්මක කර ඇති අතර, සීදුව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ ක්‍රියාත්මක වන මෙම ඩිජිටල්කරණ වැඩපිළිවෙළ හරහා අක්ෂි රෝගීන්ට දිගු පෝලිම්වල රැඳී නොසිට, කඩිනම් හා වඩාත් කාර්යක්ෂම අක්ෂි වෛද්‍ය සේවාවක් ලබා ගැනීමට අද සිට අවස්ථාව සැලසේ.
රෝගී දත්ත සහ වෛද්‍ය වාර්තා පරිගණකගත පද්ධති (Digital Systems – App) හරහා කළමනාකරණය කිරීම මෙමඟින් සිදු කෙරෙන ප්‍රධානතම කාර්යයක් වන අතර, නවීන ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගෙන සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම තුළින් ඇසේ සුද ඉවත් කිරීම, දියවැඩියා අක්ෂි රෝග (Diabetic Retinopathy) ඇතුළු අක්ෂි සත්කාර සඳහා ලබාදෙන සේවා වඩාත් ගුණාත්මක වීම ද මෙම වැඩපිළිවෙලේ තවත් අපේක්ෂිත ප්‍රතිලාභයක් වේ.
රෝගීන් ලියාපදිංචිය, රෝගී දත්ත කළමනාකරණය, සායනික වාර්තා සහ ඖෂධ නිකුත් කිරීමේ පද්ධති ඇතුළු අක්ෂි සේවාවට අයත් රෝහලේ සියලු අංශ ඩිජිටල්කරණයට ලක් කිරිමට මෙහිදී කටයුතු කර තිබීම ද විශේෂත්වයකි.
සීදුව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ සමස්ත රෝගී ප්‍රතිකාර සේවාවන් සහ අක්ෂි සායන සේවා ඩිජිටල්කරණය කිරීම පිළිබඳව වන විශේෂ සමාලෝචන සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිණි, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී ද පසුගියදා පැවැත්විණි.
මෙම අවස්ථාවට රෝහල් අධ්‍යක්ෂ (වැඩබලන) වෛද්‍ය ඩී. ජී. ඒ. රණවීර මහතා ඇතුළු අක්ෂි ඒකකයේ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගි වී සිටියහ.
