මාලන් විතාන –
අවදානමට ලක්විය හැකි පුද්ගලයන්ගේ සැබෑ තත්ත්වය තේරුම් ගැනීමට නම් ඔවුන්ගේ සුළු කරුණු කෙරෙහි පවා සංවේදීව අවධානය යොමු කිරීම වැදගත් බවත්, මානව යහපැවැත්ම හුදෙකලාව ගොඩනැගිය නොහැකි බවත්, එය සෞඛ්‍යය, අධ්‍යාපනය සහ ආර්ථික තිරසාරභාවය සමඟ බද්ධ වී ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.
නොවැම්බර් 24 වැනිදා කොළඹ සිටි සෙන්ටර් (Colombo City Centre) පරිශ්‍රයේදී පැවැති ‘Contextualising MHPSS: An Encounter with the Field’s History in Sri Lanka’ ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව ප්‍රකාශ කළාය.
2026 නොවැම්බර් 24 සිට 26 දක්වා කොළඹදී පැවැත්වෙන අන්තර්-ආයතන ස්ථාවර කමිටුවේ (IASC) මානසික සෞඛ්‍ය සහ මනෝසමාජීය සහාය (MHPSS) පිළිබඳ කණ්ඩායමේ වාර්ෂික රැස්වීමට සමගාමීව මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබේ. 1980 දශකයේ අගභාගයේ සිට වර්තමානය දක්වා දශක හතරකට ආසන්න කාලයක් පුරා, පැවති අර්බුද හමුවේ පීඩාවට පත් ජනතාවගේ දුක් වේදනාවන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ MHPSS ක්ෂේත්රය තුළ සිදු වූ නවෝත්පාදනයන්, ප්‍රජා මූලික ප්රවේශයන් සහ මැදිහත්වීම්වල විකාශනය මෙම ප්‍රදර්ශනය මගින් විදහා දැක්වේ.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ ද පැවසුවාය,
1991 වසරේදී NEST ආයතනය සමඟ එක්ව සමාජ සේවා ක්ෂේත්රයට පිවිසි මගේ මුල්කාලීන අත්දැකීම් මට මේ මොහොතේ සිහිපත් වෙනවා. සමාජයේ මතුපිටින් පෙනෙන දේට ඔබ්බට ගොස්, මිනිසුන්ගේ ජීවිතවලට බලපාන ගැඹුරු යථාර්ථයන් හඳුනා ගැනීමට මගේ මුල්කාලීන උපදේශකයන් මට මග පෙන්වූ ආකාරය මම ගෞරවයෙන් සිහිපත් කරනවා. අවදානමට ලක්විය හැකි පුද්ගලයන්ගේ සැබෑ තත්ත්වයන් සහ ඔවුන්ට සලකන ආකාරය නිවැරදිව වටහා ගැනීමට නම්, ඉතා සුළු යැයි පෙනෙන කරුණු කෙරෙහි පවා අවධානය යොමු කළ යුතු වෙනවා වගේම, විශේෂ සැලකිල්ලකින් සහ සංවේදීතාවකින් යුතුව ඒ පිළිබඳව සොයා බැලිය යුතුයි.
පුද්ගලයන්ට සමාජ පිළිගැනීම, අභිමානය මෙන්ම අඛණ්ඩ රැකවරණය සහ සහයෝගය අත්‍යවශ්‍යයි. පුද්ගල මානසික සෞඛ්‍යය සහ මනෝසමාජීය යහපැවැත්ම, මූලික වශයෙන්ම සමාජ සාධාරණත්වය, සමානාත්මතාව සහ බලය හා අවස්ථාවන් බෙදී යාමේ අසමානතා පිටුදැකීම සමඟ බැඳී පවතින බව ද අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් පැවසුවාය.
මෙම සමාරම්භක අවස්ථාවට IASC MHPSS යොමු කණ්ඩායමේ සම-සභාපතිත්වය දරන සංවිධාන නියෝජනය කරමින් යුනිසෙෆ් (UNICEF) ආයතනයේ ගෝලීය මානසික සෞඛ්‍ය ප්‍රධානී සයිනාබ් හිජාසි (Zeinab Hijazi), ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩසඳ සමාජ සම්මේලනයේ (IFRC) මානුෂීය රාජ්‍යතාන්ත්‍රික කටයුතු, සන්නිවේදන සහ පර්යේෂණ ප්‍රධානී කාමන් වැලේ-ට්රැබඩෙලෝ (Carmen Valle-Trabadelo), යුනිසෙෆ් ශ්‍රී ලංකා නේවාසික නියෝජිත එමා බ්‍රිගම් (Emma Brigham), ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය රාජේෂ් පාණ්ඩව් (Dr. Rajesh Pandav) සහ ආනන්ද ගලපත්ති යන මහත්ම මහත්මීහු ද, දිවයින පුරා සිටින මනෝවිද්‍යාඥයෝ, මනෝවෛද්‍යවරු, සමාජ සේවකයෝ, ප්‍රජා සේවකයෝ, පර්යේෂකයෝ සහ මෙම අත්දැකීම්වලට ඍජුව මුහුණ දුන් පුද්ගලයෝ රැසක් ද සහභාගී වූහ.
