නිමල් රාජපක්ෂ
අස්වැසුම ප්‍රතිලාභය ලබන දුප්පත් සහ අන්ත දුප්පත් යන සමාජ කාන්ඩවල පවුල් ලක්ෂ 12 සවිබලගැන්වීම සඳහා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයට අනුබද්ධ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට පවරමින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. ඒ පසුගිය 13 වනදා රැස්වූ අමාත්‍ය මණ්ඩල හමුවේදීය.
ඒ අනූව ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකු ආධාර මත නියමු ව්‍යාපෘති දෙකක්, තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ග්‍රාමසේවා වසම් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ව්‍යාපෘති නිර්ණායකයන්ට අනූව තෝරාගත් පවුල් සඳහා ඔවුන්ගේ ව්‍යාපාර හෝ රැකියා මත පදනම්ව ගිවිසුම් ගතවීමේන් රුපියල් එක් ලක්ෂ පන්ස් දහසක (150,000/=) උපරිමයකට යටත්ව මූල්‍යාධාර සැපයීමට සැලසුම් කර ඇත.
මෙම නියමු ව්‍යාපෘතිය දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 143ක, ග්‍රාමසේවා වසම් 839ක පදිංචි දුප්පත් සහ අන්ත දුප්පත් යන සමාජ කන්ඩායම් වලට අයත් තෝරාගත් ප්‍රතිලාභී පවුල් 23775ක් සඳහා 2025 -2027 කාලය තුළ මූල්‍යාධාර ලබාදෙනු ඇත.
ඒ අනූව කෑගල්ල දිස්ත්‍රික්කයේ, වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝරාගත් ප්‍රතිලාභී පවුල් සඳහා මූල්‍යාධාර හිමිකම් ලිපි ප්‍රධානය පසුගිය 14 වනදා, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී සිදු කෙරුණා. මෙම අවස්තාවට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශ ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතා, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝජ් රාජපක්ෂ මහතා, වරකාපොල ප්‍රාදේශීය ලේකම්තුමන්, කෑගල්ල දිස්ත්‍රික් සමෘද්ධි අධ්යක්ෂ, සමෘද්ධි සංවර්ධන නිළධාරීන් හා ප්‍රතිලාභී පවුල් සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
