නිමල් රාජපක්ෂ-
ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සහ සංස්කෘතිය සුරැකීමට රජය කැපවන බවත්, වසර ගණනාවක සිට වැදිජනතාවගේ ඉල්ලීමක් වූ ආදිවාසී පනත ආමාත්‍ය මණ්ඩලයට යොමු කළ අතර ආදිවාසීන් ඇතුළු අදාල ආයතන සමඟ සාකච්ඡා කර ඉදිරි කටයුතු සිදු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
“ආදිවාසී පාරම්පරික වින්නඹුමාතාවන්ට ගරු කිරීම: ජීවිතය සහ යහපැවැත්ම සුරක්ෂිත කිරීම” යන්න තේමා කර ගනිමින් දඹාන ආදිවාසී ජන උරුම කෞතුකාගාර පරිශ්‍රයේ අද (අගෝස්තු 09) පැවැති “ලෝක ආදිවාසී දිනය 2026” සැමරුම් උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සදහන් කළාය.
ලෝක ආදීවාසී දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමිය විසින් දඹාන ආදිවාසී වැදි ගම්මානයේ ඖෂධීය පැළයක් සිටුවීම සිදු කළ අතර අනතුරුව ආදිවාසී ජන උරුම කෞතුකාගාරය නැරඹීමට ද එක් වූවාය. පාරම්පරික වින්නඹු මාතාවන් අගයමින් සංකේත සහ ත්‍යාග පිරිනැමීමෙන් අනතුරුව ආදීවාසී වැදි නායක ඌරුවරිගේ වන්නිලැත්තන් විසින් ශ්‍රී ලංකා ආදිවාසී ප්‍රජා ප්රකාශනය අග්‍රාමාත්‍යතුමිය වෙත පිළිගැන්වීමද සිදු කළේය.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
ආදිවාසී වැදි ජනතාව කියන්නේ පරිසරය සමඟ සමගාමීව ජීවත්වෙමින් පරිසරයම තම නිවහන කරගත් ප්‍රජාවක්. ගැබිනි සතුන් නොමැරීම, මී මැසි වද කඩද්දී මුළු වදයම විනාශ නොකිරීම, අල ගලවන විට නැවත පැළවෙන කොටස පසට එකතු කිරීම වැනි සරල නමුත් ගැඹුරු පරිසර හිතකාමී සිරිත් විරිත් ඔවුන්ගේ ජීවන රටාව තුළම මුසු වී තිබුණා.
ආදීවාසී වැදි ජනතාවගේ අනන්‍යතාව, පාරම්පරික දේශීය දැනුම සහ උරුමයන් අද වඳවී යාමේ අවදානමකට ලක්ව තිබෙනවා. අපි රජයක් මෙන්ම සමාජයක් ලෙසත් මේ ප්රශ්නය දෙස බොහොම සංවේදීව සහ වගකීමෙන් බැලිය යුතුයි.
සංවර්ධනය කියන්නේ ආදිවාසී වැදි ජනතාවගේ උරුමය විනාශ කිරීම නෙවෙයි. එක්සත් ජාතීන්ගේ ආදිවාසී අයිතිවාසිකම් පිළිබඳ ප්රකාශනයට අනුකූලව, ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සියලු දෙනාගේම පරම වගකීමක්.
රජයක් ලෙස ආදිවාසී වැදි ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීමටත්, තිරසාර ජීවනෝපාය, අධ්‍යාපනික හා සෞඛ්‍ය පහසුකම් ලබාදීමටත් කැපවෙන අතරම, ඔවුන්ගේ පාරම්පරික භූමි අයිතිය සහ සංස්කෘතික ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට අපි බැඳී සිටිනවා.
වසර ගණනාවක සිට ආදිවාසී වැදි නායකතුමා ඇතුළු වැදි ජනතාව ඔවුන් වෙනුවෙන් පනතක් සම්මත කරගැනීම පිළිබඳව විවිධ රජයන් සමඟ සාකච්ඡා කළත්, එය මෙතෙක් ඉටු වී තිබුණේ නැහැ. නමුත් අපේ රජය, විශේෂයෙන්ම ගරු සුනිල් සෙනෙවි ඇමතිතුමාගේ මැදිහත්වීම මත, අදාළ ආදිවාසී පනත් කෙටුම්පත මේ වන විට අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර තිබෙනවා. පනතක් සම්මත කරගැනීමට අදාළ සියලු අමාත්‍යාංශ, ආයතන සහ දෙපාර්තමේන්තු සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළ යුතු වෙනවා.
ඒවගේම පවතින අණපනත් සමඟ ගැටුමක් ඇති නොවන විදිහට නීතිමය පදනම තහවුරු කරමින් සිදු කළයුතු සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ වෙනුවෙන් අවශ්‍ය කමිටු පත් කරමින් මෙම සතිය තුළ අදාළ පනත පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීමට රජය කටයුතු කරමින් සිටිනවා.
ඒ වගේම, පරිසර විෂයභාර අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් වැදි ජනතාවට එදිනෙදා ජීවිතයේදී බලපාන වනාන්තරයට ඇතුලු වීමට අවසරය ලබා දීම, ආදිවාසී වැදි ජනතාව ලියාපදිංචි කිරීම, නීත්‍යානුකූළ හැදුනුම්පතක් ලබාදීම, ඇතුළු කරුණු රැසක් ඇතුළත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයකට අත්සන් තැබීම සිදු කළා. මෙතෙක් ආදිවාසී වැදි ජනතාව මුහුණ දුන් ගැටලු රැසකට මෙමගින් ස්ථීර විසඳුම් ලැබෙනවා, ආදීවාසී වැදි ප්‍රජාවගේ අයිතිවාසිකම් මෙන්ම සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමටත්, දෛනික ජීවිතය සුපුරුදු පරිදි පවත්වාගෙන යාමටත් මෙමගින් අවස්ථාව හිමිවෙනවා.
