නිමල් රාජපක්ෂ-
2026 ආසියානු හා ඕෂනියානු ඔප්ටිමිස්ට් රුවල් යාත්‍රා ශූරතාවලිය දෙසැම්බර් 12 සිට 19 දක්වා කොළඹ පෝට් සිටිහිදී පැවැත්වීමට ශ්‍රී ලංකාව සත්කාරකත්වය සපයයි.
ජාත්‍යන්තර ඔප්ටිමිස්ට් ඩිංගි සංගමය (IODA) විසින් සංවිධානය කරනු ලබන මෙම 12 වැනි ආසියානු හා ඕෂනියානු ශූරතාවලිය සඳහා ලොව පුරා සිටින තරුණ රුවල් යාත්‍රා ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්වීමට නියමිතය.
මෙවර ශූරතාවලිය සඳහා රටවල් 20ක් සහභාගි වන අතර, යාත්‍රා 130ක් තරග සඳහා එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. වයස අවුරුදු 15ට අඩු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වන ලොව විශාලතම රුවල් යාත්‍රා තරග පන්ති අතරින් එකක් වන ඔප්ටිමිස්ට් තරග පන්තිය යටතේ පුද්ගල හා කණ්ඩායම් තරග පැවැත්වේ.
ආසියානු හා ඕෂනියානු රටවලට අමතරව ආර්ජන්ටිනාව, බ්‍රසීලය, චෙක් ජනරජය, ප්‍රංශය සහ ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙවර ශූරතාවලියට සහභාගි වෙති.
ශ්‍රී ලංකා යාත්‍රා සංගමයේ (YASL) සභාපති ලලිත් ජිරසිංහ මහතා සඳහන් කළේ, ආසියානු හා ඕෂනියානු ශූරතාවලියට සත්කාරකත්වය සැපයීම ශ්‍රී ලංකාවේ රුවල් යාත්‍රා ක්‍රීඩාවට වැදගත් සන්ධිස්ථානයක් වන බවයි. එමගින් මෙරට තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කලාපයේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ තරග කිරීමට අවස්ථාව ලැබෙන බවද ඔහු පැවසීය.
දින පහක් පුරා පැවැත්වෙන තරග සඳහා පැහැදිලි අහසක් සහ ගැට 8ත් 12ත් අතර සාමාන්‍ය සුළං වේගයක් අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකා යාත්‍රා සංගමයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සරත් කුරගම මහතා පැවසුවේ, මහාද්වීපික ශූරතා තුනක් සහ සමස්ත ආසියානු හා ඕෂනියානු ශූරතා කිරුළක් සඳහා තරග කිරීමට අවස්ථාව ලැබීම නිසා මෙම ශූරතාවලිය තරගකරුවන්ට එක් සමස්ත ශූරතාවකට වඩා වැඩි අවස්ථාවක් සලසන බවයි.
පසුගිය වසරේ පැවති තරගාවලියේදී පුද්ගල සමස්ත ශූරතාව තායිලන්තය දිනාගත් අතර, කණ්ඩායම් තරග ශූරතාව සිංගප්පූරුවට හිමි විය. ජාතීන්ගේ කුසලානය ඇමරිකා එක්සත් ජනපදය දිනාගත්තේය.
පුද්ගල තරගවලදී සමස්ත තරගකරුවන් අතරින් මුල් ස්ථාන තුනට පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, මුල් ස්ථාන තුනට පැමිණෙන බාලිකාවන්ට සහ ආසියානු හා ඕෂනියානු කලාපවලින් ඉදිරියෙන්ම සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වෙන වෙනම ත්‍යාග පිරිනැමේ. එසේම ආසියානු හා ඕෂනියානු බාලිකා සහ බාලක ශූරයන්ටත් සමස්ත ආසියානු හා ඕෂනියානු ශූරයාටත් කිරුළු පිරිනැමීමට නියමිතය.
කණ්ඩායම් තරගවලදී සමස්ත කණ්ඩායම් අතරින් මුල් ස්ථාන තුනට පැමිණෙන කණ්ඩායම්වලට, ඉදිරියෙන්ම සිටින ආසියානු හා ඕෂනියානු කණ්ඩායම්වලට සහ එක් එක් මහාද්වීපය නියෝජනය කරන හොඳම කණ්ඩායමට ත්‍යාග හිමි වේ. එම ජයග්‍රාහී කණ්ඩායම්වලට IODA සදාකාලික කුසලානය සහ ආසියානු හා ඕෂනියානු කණ්ඩායම් තරග ශූරතාව හිමිවනු ඇත.
විදේශීය පුහුණුකරුවන්, කණ්ඩායම් නායකයන්, කළමනාකරුවන් සහ අනෙකුත් නිලධාරීන් 60කට ආසන්න පිරිසක් ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ එක්වීමට නියමිතය. ජාත්‍යන්තර විනිසුරු මණ්ඩලයේ සාමාජිකයන්ද ඊට එක්වෙති. තුර්කි ජාතික ජාත්‍යන්තර රුවල් යාත්‍රා විනිසුරුවරයකු වන ඉල්කර් බින්ඩිර්ඩ් (Ilker Byindir) ප්‍රධාන තරග නිලධාරියා ලෙස කටයුතු කරන අතර, මැලේසියානු ජ්‍යෙෂ්ඨ රුවල් යාත්‍රා ක්‍රීඩකයකු සහ පුහුණුකරුවකු වන මොහමඩ් අෆෙන්ඩි තරග නිලධාරියකු ලෙස කටයුතු කරයි.
IODA ආසියානු හා ඕෂනියානු කලාපයේ දින දර්ශනයේ වඩාත්ම කීර්තිමත් තරගාවලි අතරින් එකක් වන මෙම ශූරතාවලිය, මහාද්වීපයේ දක්ෂතම තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකට එක් කරමින් ඉහළම මට්ටමේ තරග කිරීමට අවස්ථාව සලසන බව IODA හි අප්‍රිකානු, ආසියානු හා ඕෂනියානු කලාපයේ උප සභාපති, විශ්‍රාමික කපිතාන් අජේ කුමාර් නාරංග් මහතා පැවසීය.
2026 ඔප්ටිමිස්ට් ආසියානු හා ඕෂනියානු ශූරතාවලිය, රුවල් යාත්‍රා ක්‍රීඩාවේ සාඩම්බර සම්ප්රදායක් සහ විශිෂ්ට ජාත්‍යන්තර ඔප්ටිමිස්ට් තරගාවලි පැවැත්වීමේ අත්දැකීම් ඇති රටක් ලෙස ශ්‍රී ලංකාවට නැවතත් ජාත්‍යන්තර තරගාවලියක් පැවැත්වීමට ලැබෙන අවස්ථාවක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාව අවසන් වරට මෙම ශූරතාවලියට සත්කාරකත්වය සපයා ඇත්තේ 2016 වසරේදී ත්‍රිකුණාමලයේදීය. ඊට පෙර 2012 වසරේදී ද තරගාවලියක් පැවැත්විණි. 2020 වසරේ ශූරතාවලිය පැවැත්වීමේ අයිතිය ශ්‍රී ලංකාවට හිමිව තිබුණද, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් එය අවලංගු කෙරිණි.
1970 සිට 1978 දක්වා කාලය තුළ දකුණු ආසියානු යාත්‍රා සංගම් රෙගැටා තරගාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකාව කටයුතු කර ඇති අතර, 2004 වසරේදී ද එය නැවතත් පැවැත්විණි. එසේම 2006 වසරේදී එන්ටර්ප්රයිස් ලෝක ශූරතාවලියත්, 2011 වසරේදී GP14 ලෝක ශූරතාවලියත් ශ්‍රී ලංකාවේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා යාත්‍රා සංගමය, ක්‍රීඩා අමාත්‍යාංශය, IODA සහ අනෙකුත් දේශීය පාර්ශ්වකරුවන්ගේ සහයෝගයෙන් සංවිධානය කරන මෙම තරගාවලිය මගින් ක්‍රීඩා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමටත්, ජාත්‍යන්තර රුවල් යාත්‍රා ක්‍රීඩාව සඳහා ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ස්ථානය ශක්තිමත් කිරීමටත් හැකි වනු ඇතැයි ලලිත් ජිරසිංහ මහතා පැවසීය.
විශේෂයෙන්ම උතුරු හා නැගෙනහිර පළාත්වල රුවල් යාත්‍රා ක්‍රීඩා වැඩසටහන් සංවර්ධනය කිරීම සඳහා ද මෙම තරගාවලිය දිරිගැන්වීමක් වනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළේය.
මෙම ශූරතාවලියට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ කොළඹ පෝට් සිටි ආයතනික සහයෝගය ලබා දෙයි. චීනයේ One Plus Boat Co. Ltd. සමාගම තරගකරුවන් සඳහා කුලී යාත්‍රා සපයන අතර, කිංග්ස්බරි හෝටලය සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ කණ්ඩායම් සඳහා නවාතැන් පහසුකම් සපයයි.
මීට පෙර ජාත්‍යන්තර රුවල් යාත්‍රා තරගාවලි සඳහා සහාය ලබා දී ඇති ශ්‍රී ලංකා නාවික හමුදාව, ගලවා ගැනීමේ සේවා සහ වෙරළාශ්‍රිත පහසුකම් සැපයීමට කටයුතු කරයි.
ආසියානු හා ඕෂනියානු කලාපයේ තරුණ ඔප්ටිමිස්ට් රුවල් යාත්‍රා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ප්‍රධාන තරගාවලියක් බවට මෙම ශූරතාවලිය වර්ධනය වී ඇත. පසුගිය වසරේ ඕමානයේ පැවති තරගාවලියට රටවල් 25කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 180කට අධික පිරිසක් සහභාගි වූහ.
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න
