Spread the love

නිමල් රාජපක්ෂ-

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ක්ෂුද්‍ර සේවා හා ආධාරක මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේ වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් එහි පළමු මධ්‍යස්ථානය විවෘත කිරීම විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (නොවැම්බර් 04) මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටි විදාතා සම්පත් මධ්‍යස්ථානයේදී සිදු කෙරිණි.


අවම පහසුකම් යටතේ තම ව්‍යාපාර පවත්වාගෙන යන ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසායකයන්ට අවශ්‍ය තාක්ෂණික පහසුකම් ලබාදීමේ අරමුණින් මෙම ක්ෂුද්‍ර සේවා හා ආධාරක මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව, මෙහි පළමු අදියර යටතේ දිවයින පුරා සියළු දිස්ත්‍රක්කයන් ආවරණය වන පරිදි තෝරාගත් විදාතා සම්පත් මධ්‍යස්ථාන 25ක් ආශ්‍රිතව මෙම ක්ෂුද්‍ර සේවා හා ආධාරක මධ්‍යස්ථාන පිහිටුවීමට නියමිත අතර, ඒ හරහා ව්‍යවසායකයන් 2,500කට පමණ ප්‍රතිලාභ සැලසීමට අපේක්ෂිතය. 2026 වර්ෂය තුළ මෙම වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 100.9ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.


මෙම වැඩසටහන යටතේ මීරිගමදී විවෘත කෙරුණු පළමු මධ්‍යස්ථානය මඟින් ආහාර නිෂ්පාදනයේ නිරත ව්‍යවසායකයන්ට සෞඛ්‍යාරක්ෂිතව ආහාර සැකසීම, ඇසුරුම්කරණය සහ ලේබල් කිරීම සඳහා අවශ්‍ය නවීන තාක්ෂණික උපකරණ හා පහසුකම් ලබාගැනීමට අවස්ථාව සැලසෙන අතර, එමඟින් දේශීය නිෂ්පාදනවල ගුණාත්මකභාවය හා ප්‍රමිතිය ඉහළ නංවා වෙළෙඳපොළ අවස්ථා පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ.


මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද ලලිත් කුමාර මහතා, විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශ නිලධාරීන්, මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, ගම්පහ දිස්ත්‍රික් විදතා නිලධාරීන්, ව්‍යවසායකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.