Spread the love

නිමල් රාජපක්ෂ-

මුල් ළමාවිය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මක හා පරිවර්තනීය වෙනසක් ඇති කිරීමේ අරමුණින්, දිවයිනේ හඳුනාගත් සියලුම පෙරපාසල් ගුරුවරුන්ට කිසිදු ගුරුවරයෙකු අත නොහැර රජය මගින් නොමිලේ ජාතික මට්ටමේ ගුරු පුහුණුවක් ලබාදීමේ වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින බව විශේෂ ප්‍රකාශයක් කරමින් කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා ප්‍රකාශ කළේය.
මෙම වැඩපිළිවෙළ අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ හා ජාතික අධ්‍යාපන ආයතනයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කරනු ලබයි. පෙරපාසල් අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම, පෙරපාසල් ලියාපදිංචි කිරීම, විධිමත් විෂයමාලාවක් හඳුන්වාදීම සහ ගුරුවරුන්ගේ වෘත්තීය නිපුණතා ඉහළ නැංවීම මෙහි ප්‍රධාන අරමුණු වේ.


මෙම පුහුණු වැඩසටහන ජාතික පුහුණු ක්‍රමවේදයක් අනුව අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව ජාතික අධ්‍යාපන ආයතනය (NIE) මගින් ජාතික මට්ටමේ ප්‍රධාන පුහුණුකරුවන් සූදානම් කරන අතර, එම පුහුණුකරුවන්ගේ මැදිහත්වීමෙන් පළාත් මට්ටමේ පුහුණුකරුවන් සූදානම් කරනු ලබයි. අනතුරුව ඔවුන්ගේ දායකත්වයෙන් දිවයින පුරා පෙරපාසල් ගුරුවරුන් පුහුණු කිරීම සැලසුම් කර තිබේ.
මෙම ජාතික වැඩපිළිවෙළ යටතේ ජාතික මට්ටමේ ප්‍රධාන පුහුණුකරුවන් 108 දෙනෙකු සහ පළාත් මට්ටමේ පුහුණුකරුවන් 556 දෙනෙකු සූදානම් කිරීමට නියමිත අතර, දිවයින පුරා හඳුනාගෙන ඇති පෙරපාසල් ගුරුවරුන් 35,000කට ආසන්න සංඛ්‍යාවකට පුහුණුව ලබාදීමට සැලසුම් කර ඇත. එක් ගුරුවරයෙකු වෙනුවෙන් දින 10ක පුහුණු කාලයක් වෙන් කර තිබීම ද මෙහි විශේෂත්වයකි.


ශ්‍රී ලංකාවේ පෙරපාසල් අධ්‍යාපන පද්ධතිය පළාත් සභා සහ පළාත් මට්ටමේ මුල් ළමාවිය සංවර්ධන ආයතන සමඟ සම්බන්ධව ක්‍රියාත්මක වන බැවින්, පුහුණු වැඩසටහන ද පළාත් මට්ටමින් විධිමත් ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක කරනු ලබයි.
ඒ අනුව පළමු කාණ්ඩය යටතේ පුහුණුකරුවන් 120 දෙනෙකු සූදානම් කර ඇති අතර, ඉන් 86 දෙනෙකු සිංහල මාධ්‍යයෙන් ද 34 දෙනෙකු දෙමළ මාධ්‍යයෙන් ද පුහුණුව ලබා තිබේ. දෙවන කාණ්ඩය යටතේ පුහුණුකරුවන් 688 දෙනෙකු සම්බන්ධ වී ඇති අතර, ඉන් 556 දෙනෙකු සිංහල මාධ්‍යයෙන් ද 132 දෙනෙකු දෙමළ මාධ්‍යයෙන් ද වේ.
මේ වන විට පළාත් අටක මෙම වැඩපිළිවෙළ ආරම්භ කර ඇති අතර, සබරගමුව පළාතේ පුහුණු වැඩසටහන නොවැම්බර් 11 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.
මෙම වැඩපිළිවෙළේදී විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කර තිබේ. එම දරුවන්ට ගුණාත්මක පෙරපාසල් අධ්‍යාපනයක් ලබාදීම සඳහා අදාළ ආයතන සහ නිලධාරීන්ගේ මැදිහත්වීම, අවශ්‍ය පහසුකම් සැලසීම සහ ඉදිරියේදී ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කරමින් අවශ්‍ය පියවර ගැනීමට අපේක්ෂා කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
පෙරපාසල් අධ්‍යාපනය යනු දරුවෙකුගේ ජීවිතයේ ඉදිරි අධ්‍යාපනික ගමනට පදනම සකස් කරන අතිශය වැදගත් අවධියකි. එබැවින් එම අවධියේ දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන ගුරුවරුන් නිසි දැනුමෙන්, කුසලතාවලින් සහ වෘත්තීය නිපුණතාවයෙන් සන්නද්ධ කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා ගුරුවරුන්ගේ ආර්ථික තත්ත්වය හෝ පෞද්ගලික හැකියාවන් මත අවස්ථා සීමා නොකර, සියලුම පෙරපාසල් ගුරුවරුන්ට සමාන පුහුණු අවස්ථාවක් නොමිලයේ ලබාදීම රජයේ අරමුණ බව ද වෛද්‍ය නාමල් සුදර්ශන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.