නිමල් රාජපක්ෂ
කොළඹ සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් MU 6018 අංක දරණ ගුවන් යානයෙන් චීනයේ ෂැංහයි වෙත ගමන් කිරීමට පැමිණි චීන ජාතික ගුවන් මගියකු සතුව තිබු රුපියල් ලක්ෂයක් පමණ වටිනා කොතලහිඹුටු කිලෝ 25 ක් සොයා ගැනීමට අද (21)අලුයම කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලේ රේගු නිලධාරීන් සමත්වී ඇත.
තිස් හත් වියැති අදාළ ගුවන් මගියා, මෙරටින් පිටවීමට පැමිණි අවස්ථාවේදී පිටත්වීමේ පර්යන්තයේ රේගු පරිශ්‍රයේ රාජකාරියේ නියුතුව සිටි රේගු නිලධාරීන් විසින් පරික්ෂා කිරීමේදී ගමන් මලු තුල තේ අඩංගු පැකට් ලෙස දක්වා සූක්ෂමව සඟවා තිබූ මෙම කොතලහිඹුටු තොගය අත්අඩංගුට ගෙන තිබේ.
වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ විධිවිධාන අනුව මෙම විශේෂ ආරක්ෂිත ප්‍රභේදයක් වන කොතලහිඹුටු මෙලෙස අපනයනය කිරීම නීති විරෝධී වන අතර මෙය රේගු ආඥා පනතේ විධිවිධාන උල්ලංඝනය කිරීමකි.
බලපත්‍ර නොමැතිව සිදු කරන මෙවැනි අපනයනයන් නීති විරෝධී වනජීවී ජාවාරමක් වන අතර ජාත්‍යන්තර සම්මුතීන් වලටද පටහැනිය. මෙවැනි ක්‍රියා මැඩලීම සදහා ශ්‍රී ලංකා රේගුව නිරතුරුව ක්‍රියා කරනු ලැබේ.
රේගු නිලධාරීන් මෙම කොතල හිඹුටු තොගය රාජ සන්තක කර තිබෙන අතර ගුවන් තොටුපළ රේගු නිලධාරීන් හා රේගුවේ ජෛව විවිධත්ව, සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ අංශය එක්ව මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි
