Spread the love

ගාලු කුමාරි දුම්රිය ඊයේ ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේ පීලි පැනීමට ලක්වූ අතර මුහුදු බඩ මාර්ගයේ දුම්රිය පීලි ගත කිරීමේ කටයුතු තවදුරටත් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.

දුම්රිය පීලි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට ද දැඩි හානි සිදුව ඇති අතර එහි ප්‍රතිසංස්කරණ කටයුතු ද මේ වනවිට සිදුවෙමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර අද පෙරවරුවේ ධාවනය වීමට නියමිත දුම්රියන් දොඩංදූව, හික්කඩුව, කහව සහ අම්බලන්ගොඩ යන දුම්රිය ස්ථානවලින් ආරම්භ කෙරෙන බව සඳහන්ය.

එමෙන්ම බෙලිඅත්ත සිට ධාවනය වීමට නියමිත දුම්රිය, ගාල්ල දුම්රිය ස්ථානය දක්වා ධාවනය කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව එම දුම්රියේ මගීන්, බස් රථ ඔස්සේ ගිංතොට දුම්රිය ස්ථානයෙන් පසුව පිහිටි දුම්රිය ස්ථානයකට පැමිණ අනෙක් දුම්රියකට මාරුවීමේ හැකියාව පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.