Spread the love

නිමල් රාජපක්ෂ-

“ගෝලීය සිසිලනය සඳහා එක්ව ක්‍රියා කරමු” (Global Action for a Cooler Planet) යන තේමාව පෙරදැරි කරගනිමින් සංවිධානය වූ 2026 ජගත් ඕසෝන් දින ජාතික සැමරුම් උත්සවය අද (16) පෙරවරුවේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත Azusa Kubota මහත්මියගේ සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ. ආර්. උඩුවාවල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සැමරුමට රාජ්‍ය නිලධාරීන්, පාරිසරික විද්වතුන්, පාසල් හා විශ්වවිද්‍යාල සිසුන්, ගුරු පුහුණුලාභීන් මෙන්ම වෘත්තීය තාක්ෂණවේදීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.


උත්සවයේ ප්‍රධාන විද්වත් දේශනය පැවැත්වූ මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රුචිර විජේසේන මහතා, පෘථිවි ඕසෝන් වියන සුරැකීම සහ ගෝලීය උෂ්ණත්වය පාලනය කිරීම උදෙසා විකල්ප හරිත තාක්ෂණයන් භාවිතයේ ඇති කාලීන අවශ්‍යතාව අවධාරණය කළේය.

පරිසර අමාත්‍යාංශයේ වායු සම්පත් කළමනාකරණ සහ ජාතික ඕසෝන් ඒකකය විසින් සම්පාදනය කරන ලද, පාලිත රසායනික ද්‍රව්‍ය හා ඒ ආශ්‍රිත උපකරණ හඳුනා ගැනීම, අධීක්ෂණය සහ පාලනය පිළිබඳ විශේෂ අත්පොත නිල වශයෙන් ශ්‍රී ලංකා රේගුව වෙත භාරදීම මෙහි දී සිදු වූ අතර ගම්පහ උද්භිද උද්‍යානයේ මහජන දැනුවත්භාවය ඉහළ නැංවීම උදෙසා, 2026 තේමාව රැගත් අඩි 10 × 10 ප්‍රමාණයේ කැනොපි ආවරණ 50ක් පරිත්‍යාග කිරීම සිදු කරන ලදී.

VTA, CGTTI, NYSC, NAITA සහ DTET යන ආයතනවල ශීතකරණ හා වායු සමීකරණ (RAC) ක්ෂේත්‍රයේ අවසන් වසර ආධුනිකයන් වෙනුවෙන් පැවැත්වූ “පරිසර හිතකාමී ශීතකරණ හා වායු සමීකරණ ආධුනික කාර්මික ශිල්පියා තේරීමේ තරඟය – 2026” හි ජයග්‍රාහකයින්ට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කෙරිණි.


1987 මොන්ට්‍රියල් සන්ධානයට සහ එහි කිගාලි සංශෝධනයට අනුගත වෙමින්, 2030 වන විට HCFC ආනයනය මුළුමනින්ම අවම කිරීමටත්, 2045 වන විට HFC පරිභෝජනය 80%කින් අඩු කිරීමටත් ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමේ පියවරක් ලෙස මෙම වැඩසටහන කැපී වැදගත් වනු ඇත.