Spread the love

නිමල් රාජපක්ෂ

ශ්‍රී ලංකා ඒකාබද්ධ ඉංජිනේරු ආයතනය (IIESL) මගින් සංවිධානය කරනු ලබන මෙරට දැවැන්තම කාර්මික සහ වෙළඳ ප්‍රදර්ශනය වන “INCO 2026”, 2026 මාර්තු 13 වන දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය.දේශීය හා විදේශීය කාර්මික නවෝත්පාදන, අතිනවීන තාක්ෂණයන් සහ විවිධ නිෂ්පාදන ක්ෂේත්‍රයන් ප්‍රවර්ධනය කිරීම සහ මෙරට නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් මෙම ප්‍රදර්ශනය 2026 මාර්තු 15 වන දින දක්වා මහජනතාව සඳහා විවෘතව පවතී.

ප්‍රදර්ශනයේ දෙවන දිනය වන .14 දින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහභාගී විය. එතුමා විසින් ප්‍රදර්ශනය නිල වශයෙන් විවෘත කිරීමෙන් අනතුරුව, එහි ප්‍රදර්ශනය කර තිබූ විවිධ දේශීය හා විදේශීය කාර්මික තාක්ෂණික මෙවලම් සහ නිෂ්පාදන කුටි නිරීක්ෂණය කරන ලදී.

මෙහිදී පැවැති උත්සව සභාව අමතමින් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, රජයේ නව ආර්ථික ප්‍රතිපත්තිය වන “නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම” සහ ඒ තුළින් “ජන සහභාගීත්ව සංවර්ධනය පදනම් කරගත් නිෂ්පාදනාර්ථකයක් ගොඩනැගීමේ” වැදගත්කම අවධාරණය කළේය. “අපේ බලාපොරොත්තුව කිහිප දෙනෙක් අතේ මුදල් ගැවසෙන ආර්ථිකයක් නොව, ඉතාම පැහැදිලි ලෙස ජන සහභාගීත්ව සංවර්ධනය පදනම් කරගත් නිෂ්පාදනාර්ථකයක් ගොඩනැගීමයි,” යැයි ද ප්‍රකාශ කළේය.