නිමල් රාජපක්ෂ-
ජාතික පරිසර සතියට සමගාමීව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන වැඩසටහන මඟින් සංවිධානය කළ විශේෂ මාර්ගස්ථ දුම් පරීක්ෂාවක් සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් කුලියාපිටිය නගරය කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව සිදු කෙරිණ.
පරිසර සතිය පුරා දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි මෙම විශේෂ වැඩපිළිවෙළ සැලසුම් කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන ආකාරයට මිලියන 6 ත් 7ත් අතර ප්‍රමාණයක් වසරකට වායු දූෂණය නිසා සෘජුවම මිය යනු ලබයි. ලංකාවේ වායු දූෂණය වන ප්‍රධාන ප්රභවය ලෙස හඳුනාගෙන ඇත්තේ වාහන වායු විමෝචනයයි.
අධික ලෙස වායු විමෝචනය සිදුවීම ඉන්ධන අකාර්යක්ෂමතාවය සඳහා ද සෘජුව බලපාන අතර ඉන්ධන අරපිරිමැස්මෙන් යුතුව පරිභෝජනය කළ යුතු මොහොතක රථ වාහන වලින් පිටවන අධික දුම අමතර වැය බරක් එක් කරනු ලබයි. වාහනයෙන් අධික දුම පිටවනවා යනු ඒ නොදැවුනු ඉන්ධන වේ.
ඉන්ධන කාර්යක්ෂමතාවය සඳහා රථ වාහන නිසි පරිදි නඩත්තු කිරිම අත්‍යවශ්‍යවේ වේ. මේ පිළිබඳව අත්පත්‍රිකා මගින් රියදුරන් දැනුවත් කිරීමද මෙහිදී සිදුවුණි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් රථ වාහන පරීක්ෂකවරුන් (RMV Inspectors) සහ වාහන වායු විමෝචන තාක්ෂණික නිලධාරීන්ගේ සෘජු මෙහෙයවීමෙන් මෙම පරික්ෂාවන් සිදු කෙරුණු අතර, එහිදී මාර්ගයේ අධික ලෙස දුම පිට කරමින් ධාවනය වූ ලංගම බස් රථ ඇතුළු රථ වාහන රැසක් හඳුනාගෙන ඒවා සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ‘නඩත්තු නියෝග’ (Maintenance Orders) නිකුත් කිරීමට නිලධාරීන් පියවර ගෙන තිබේ.
මෙම වැඩසටහන පිළිබඳව අදහස් දැක්වූ වාහන වායු විමෝචන වැඩසටහනේ අධ්යක්ෂ, ඉංජිනේරු දසුන් ජනක ගමගේ මහතා මෙසේ පැවසීය:
”මාර්ගයේ ධාවනය වන රථ වාහන අතරින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (ලංගම) අයත් බස් රථවලින් අධික ලෙස දුම පිටවන බවට මහජනතාවගෙන් නිරන්තරයෙන්ම චෝදනා එල්ල වෙනවා.
ඒ නිසා මෙම පරිසර සතිය තුළ මෙන්ම ඉදිරියට ක්‍රියාත්මක කරන මාර්ගස්ථ දුම් පරීක්ෂණ වැඩසටහන්වලදීත් ලංගම බස් රථ සෘජුවම ඉලක්ක කර ගනිමින් මෙම පරීක්ෂා කිරීම් දැඩිව ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඔබටත් මාර්ගයේ ධාවනය වෙන අධික දුම සහිත වාහනයක් දුටු විට 070 3500525 අංක දරණ දුරකථන අංකයට වට්සැප් පණිවිඩයක් යොමු කළ හැකිය.
වායු දූෂණය අවම කර ගනිමින් යහපත් පරිසරයක් නිර්මාණය කිරීම සඳහා සියලුම වාහන හිමියන් තමන්ගේ වාහන නිසි වේලාවට නඩත්තු කරමින් සහයෝගය දක්වන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
