Spread the love

මාලන් විතාන

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධිත, වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා තක්‍ෂිලා ආයතනයේ ස්ථාපිත නාවික හෙද විදුහලෙහි හෙද පාඨමාලාව සම්පූර්ණ කල නාවික හා ගුවන් හමුදා හෙද සිසු සිසුවියන් 16 දෙනෙකුගේ හිස් වැසුම් පැලඳීමේ හා සේවයට ප්‍රතිඥා දීමේ උත්සවය අද දින (2026 නොවැම්බර් 12) නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ගේ ප්‍රධානත්වයෙන් නාවික අනුඛණ්ඩ කොළඹ පිහිටි අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

ඒ අනුව, මෙම උත්සවයේදී නාවික හමුදා හෙද සිසුන්  හත් දෙනෙක් (07) හා හෙද සිසුවියන් සිව් දෙනෙකු (04) සහ ගුවන් හමුදා හෙද සිසුන් තිදෙනෙක් (03) හා හෙද සිසුවියන් දෙදෙනෙකු (02) වෙත හිස් වැසුම් පැළඳවීම සහ තුන්සිළු පහන් ප්‍රධානය කිරීම, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද අධ්‍යක්‍ෂ (වෛද්‍ය සේවා) එම්බීසී සමන්මලී මහත්මිය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් පැමිණි සම්භාවනීය ආරාධිතයින්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.  

තවද, මෙම උත්සව අවස්ථාව සඳහා නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයේ ‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්, ශ්‍රී ලංකා ගුවන් හමුදා‍වේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්, කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ  සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ පීඨාධිපති, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් සහ  හෙද පාඨමාලාව සම්පූර්ණ කල නාවික හා ගුවන් හමුදා හෙද සිසු සිසුවියන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.