නිමල් රාජපක්ෂ-
මෙරට දැවැන්ත සෞඛ්‍ය සේවා පරිවර්තනයේ නියමුවන් ලෙස අනාගතයේ දී මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් 5000 කගේ පමණ සේවා අවශ්‍යතාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
දීප ව්‍යාප්තව ප්‍රාථමික සත්කාර සේවාව තවදුරටත් ශක්තිමත් කරමින් ජනතාවට වඩාත් සමීප හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් සැලසීමේ අරමුණින්, පශ්චාත් ප්‍රාථමික හෙද විදුහලේ වසරක විධිමත් පුහුණුව සාර්ථකව නිම කළ 04 වන කණ්ඩායම ලෙස මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් (PHNO) 72 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය ඊයේ (31) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රදානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.
වසරක විශේෂිත පුහුණුව සමඟින් අත්කරගත් වෘත්තීය දැනුම හා කුසලතා ප්‍රායෝගික සෞඛ්‍ය සේවාව සමඟ ඒකාබද්ධ කරමින්, ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා හඳුනාගැනීම, රෝග නිවාරණය සහ සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා මෙම නිලධාරීන්ගේ සේවය යොදා ගැනීමට සැලසුම්කර ඇත.
ඒ අනුව, දීප ව්‍යාප්තව ප්‍රාථමික සත්කාර සෞඛ්‍ය සේවාව පුළුල් කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් ප්‍රාථමික සත්කාර ඒකක මධ්‍යස්ථාන සහ “ආරෝග්‍යා” සුවතා මධ්‍යස්ථාන වෙත අනුයුක්ත කිරීමට නියමිතය.
ජනතාව රෝගී තත්ත්වයකට පත්වීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබාදීම කෙරෙහි පමණක් අවධානය යොමු නොකර, රෝග ඇතිවීම වැළැක්වීම, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන් ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රජා මට්ටමින් සෞඛ්‍ය අවශ්‍යතා හඳුනාගැනීම මූලික කරගත් සෞඛ්‍ය සේවා ප්‍රවේශයක් ශක්තිමත් කිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණකි.
මෙම අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූවේ මෙරට දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාවේ පරිවර්ථනයේ නියමුවන් ලෙස මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් පෙන්වා දිය හැකි බවයි.
දැනට මෙරට සෞඛ්‍ය සේවයේ මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් 260 ක් පමණ සිටින බවත් 05 වන කණ්ඩායමට 300 ක් පමණ ඇතුළත් වන බව ද අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.
මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සවිබල ගැන්වීම සඳහා නව මුලික සැලසුමක් සහ ආකෘතියක් වන බවත් එම සැලසුම් සහගත වැඩපිළිවෙල තුළ අනාගතයේ දී ප්‍රාථමික සෞඛ්‍ය සෞඛ්‍ය සේවා ක්‍රියාකාරී වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක කිරීමට තවත් 5000 ක පමණ මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන්ගේ සේවා අවශ්‍යතාව පවතින බව ද පැවසීය.
“ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” සවිබලගැන්වීමේ වැඩපිළිවෙල ඉතා සාර්ථක අන්දමින් ක්‍රියාත්මක බවත්, සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ශක්තිමත් කරමින් හෙද සේවාව ඇතුළු වෘත්තීන් කිහිපයක බඳවා ගැනීම් ඉදිරි කාලය තුල සිදුකරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ප්‍රාථමික සත්කාර සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් ධාරිතාව තවදුරටත් ශක්තිමත් කරමින්, රෝග නිවාරණය හා සෞඛ්‍ය ප්‍රවර්ධනය මත පදනම් වූ, ජනතාව කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය සේවා පද්ධතියක් ගොඩනැගීමේ ක්‍රියාවලියට මෙම තනතුරට පත්වන්නන් වැදගත් දායකත්වයක් සපයනු ඇත.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම්වරුන් වන විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, ජනක කිත්සිරි ගුණවර්ධන, චාමික එච්. ගමගේ, හර්ෂණී සිරිනාම සහ කේ.පී. යෝගචන්ද්‍ර යන මහත්ම මහත්මීන් ද, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන්, හෙද අධ්‍යක්ෂවරුන්, පශ්චාත් හෙද විදුහල්වල විදුහල්පතිවරුන් සහ පත්වීම්ලාභී මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් එක්ව සිටියහ.
