අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අධිකරණයට ඉදිරිපත් කළ වන්නිආරච්චි නෙවිල් නොහොත් නෙවිල් වන්නිආරච්චි ලබන ඔක්තෝබර් 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද නියෝග කළේය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික ලුතිනන් කර්නල්වරයෙකු වන මොහුට චෝදනා එල්ල වී ඇත්තේ, නීත්‍යානුකූලව උපයාගත් ආකාරය පැහැදිලි කළ නොහැකි විශාල වත්කම් ප්‍රමාණයකට උරුමකම් කීම සහ නිසි පරිදි වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙනි.
අල්ලස් පනතේ 23 (අ) (1) වගන්තියට මෙන්ම, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 127 (1) (ඌ) සහ (ඒ) යන වගන්ති යටතේ සඳහන් වරදවල් සම්බන්ධයෙන් කොමිසම මගින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, සැකකරු අවුරුදු අටක කාලයක් තිස්සේ අදාළ වත්කම් බැරකම් ප්‍රකාශය ඉදිරිපත් කිරීම මඟ හරිමින් කටයුතු කර ඇති බවයි.
අත්අඩංගුවට ගත් විශ්‍රාමික නිලධාරියා අද උදෑසන සිට දීර්ඝ කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
සැකකරුට අයත් බවට අනාවරණය වී ඇති බස් රථ සහ වෙනත් වාහන, නිවාස, හෝටල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු ගිණුම් ඇතුළු විශාල දේපල ප්‍රමාණයක් සම්බන්ධයෙන් පුළුල් මට්ටමේ විමර්ශන සිදු කිරීමට ඇති බැවින්, ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොමිසම ඉල්ලා සිටියේය.
සියලු කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සැකකරු විසින් අත්පත් කරගෙන ඇති දේපළ පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින්, නෙවිල් වන්නිආරච්චි ලබන 17 වනදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කළේය.
