හැටන් දික්ඔය නගර සභාව මගින් එළබෙන දීපාවලී සමය වෙනුවෙන් හැටන් තරු චතුරශ්‍රය අසළ තාවකාලිකව වෙළදාම් කිරිම සදහා කැදවා තිබූ ටෙන්ඩර් පත් විවෘත කිරිම මුදල් කමිටුවේ සාමාජිකයන් වර්ජනය කිරිම හමුවේ ටෙන්ඩර් පත් විවෘත කිරිම (03) දින දක්වා කල් තැබු බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතා පැවසීය.
හැටන් නගරයේ තරු චතුරශ්‍රය අසළ ඉඩම් කැබලි 130ක කොටසක් තාවකාලික වෙළදාම් කිරිම සදහා ටෙන්ඩර් පත් කැදවා තිබූ අතර, එම ටෙන්ඩර් පත් (02) දින නගර සභාවේ සහාපති, ලේකම්, නිළධාරින් සහ මුදල් කමිටුව නියෝජනය කරන ආණ්ඩු පක්ෂය සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරියේ විවෘත කිරිමට නියමිතව තිබුණි.
නගර සභාවේ මුදල් කමිටුව නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ටෙන්ඩර් පත් විවෘත කිරිමේ අවස්ථාවට අනිවාර්යයෙන් සිටිය යුතු බවත්, එම මන්ත්‍රිවරුන් නොමැතිව ටෙන්ඩර් පත් විවෘත කිරිම නීත්‍යානුකූල නොවන නිසා ටෙන්ඩර් පත් විවෘත කිරිම (03) දින දක්වා කල් තැබූ බවත්, ටෙන්ඩර් පත් කැදවීමට ප්‍රථඹ එම ඉඩම් වල රජයේ තක්සේරු වාර්ථාවක් කැදවා එම ඉඩම් කැබලිවලට ටෙන්ඩර් පත් කැදවු බවයි නගර සභාවේ සභාපතිවරයා අප කල විමසුමකට කියා සිටියේ.
මීට ප්‍රථම සිටි පාලකයින් දීපාවලී උත්සව සමයේ හැටන් නගරයේ තාවකාලිකව වෙළදාම් කිරිම සදහා ඉඩම් කැබලි වෙන්දේසි කල බවත්, එහි විනිවිද භාවයක් නොමැති නිසා මෙවර දීපාවලී උත්සව සමයේ තාවකාලිකව වෙළදාම් කිරිමට ලබා දෙන ඉඩම් වලට ටෙන්ඩර් පත් කැදවූ බවයි සභාපතිවරයා කියා සිටියේ.
ටෙන්ඩර් පත් විවෘත කිරිමේ අවස්ථාවට නොපැමිණි එම නගර සභාවේ මුදල් කමිටුවේ නාගරික මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් අප කල විමසුමකට ඔවුන් කියා සිටියේ ටෙන්ඩර් පත් කැදවන ආකාරය තමන්ගෙන් කිසිදු විමසීමක් සිදු නොකර සභාපතිවරයා නගර සභාවේ නිළධාරින් සමග එක්ව ටෙන්ඩර් පත් කැදවීම නිසා තමන් ටෙන්ඩර් විවෘත කිරිමේ අවස්ථාවට සහභාගි නොවූ බවයි.
දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට ටෙන්ඩර් පත් යොමු කල ව්‍යාපාරිකයන් රැසක් (02) දින නගර සභාව වෙත පැමිණ සිටියහ.
