Spread the love

නිමල් රාජපක්ෂ –
‘මේවගේ අවාසනාවන්ත සිදුවීම් සිද්ධවෙන රටක නෙමෙයි අපි ජීවත් වෙන්න ඕන. අපේ රටේ කුණු කඳුවලට යටවෙලා මිනිස්සු මැරුණා. හදපු බිල්ඩින්වලට යට වෙලා පොඩි පැටව් මරෙනවා…! මේ වගේ අවාසනාවන්ත සිදුවීම් වලක්වා ගන්න කඩිනමින් කටයුතු කරන්න ඕන යැයි නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි.

මෙසේ ප්‍රකාශ කලේ අද (.06) මෝදර, ‘හෙළමුතු සෙවණ’ මහල් නිවාස සංකීර්ණයේ විශේෂ නිරීක්‍ෂණ අවස්ථාවකට එක්වෙමිනි.

පසුගිය 04 වන දින බිත්තියක බදාම කොටසක් කඩාවැටීම හේතුවෙන් ‘හෙළමුතු සෙවණ’ මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි සත් හැවිරිදි දරුවෙකු අවාසනාවන්ත ලෙස මියයාම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම සිදුවීම සිදුවූ ස්ථානයට ගියේය.

“අපි මීට මාස දෙකකට පමණ පෙර මේ ස්ථානයට ආවා. තියෙන අඩුපාඩු හොයා බැලුවා. ඒවා ක්‍රමානුකූලව සකස් කිරීමට අවශ්‍ය මැදිහත්වීම්, සැලසුම් සකස් කරමින් සිටියදී තමයි මේ අවාසනාවන්ත සිදුවීම වුණේ. නාගරික සංවර්ධන අධිකාරියේ කටයුතු මීට වඩා වේගවත් කරන්න ඕනි කියන මතයේ අපි ඉන්නවා. නාගරික නිවාස සංකීර්ණ 24 ම මේ තියෙන තත්ත්වයෙන් ඉහළට ගන්න ඕනි. මහල් නිවාස සංකීර්ණ සියල්ලක්ම මිනිසුන්ට ජීවත් විය හැකි ස්ථානයන් බවට පත් කළ යුතුයි.

මේ නිවාස සංකීර්ණ සම්බන්ධයෙන් සතියක් ඇතුලත සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස නාගරික සංවර්ධන අධිකාරිය දැනුවත් කරලා තියෙනවා. ඒවායේ තියෙන අවදානම් තත්ත්වයන් කඩිනමින් සකස් කරන ලෙස උපදෙස් දීලා තියෙනවා. අපි සක්‍රියව ඒ සඳහා මැදිහත් වෙන බවයි පැවසුවේ.’