Spread the love

නිමල් රාජපක්ෂ 

මෙරට සාර්ව සෞඛ්‍ය ආවරණ වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක මුල්‍ය ප්‍රතිපාදන ලබාදෙන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

මෙරට සියළු පුරවැසියන්ට ගුණාත්මක, සුරක්ෂිත හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම උදෙසා ද්විතීයික රෝහල් පද්ධතිය සවිමත් කිරීමේ අරමුණින් පැවැති මධ්‍යම රජයේ සහ පළාත් සභා ඒකාබද්ධ සෞඛ්‍ය සේවා පාලන පද්ධතිය ශක්තිමත් කිරීමේ (Central–Provincial Dialogue) තෙදින සංවාදය ඊයේ 01 සාර්ථකව අවසන් විය.

මහනුවර කැන්ඩි මිස්ට් හෝටලයේදී ජුලි 30 ආරම්භ වූ මෙම තෙදින සංවාදයේ ඊයේ (01) පැවැති සමාප්ති සැසිවාරය සඳහා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ද එක්විය.

ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ලබාදෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක ප්‍රතිඵල පදනම් කරගත් ණය මුදලක් (Results Based Loan – RBL) සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9 ක වසංගත අරමුදල් ප්‍රදානයක් (Pandemic Fund Grant) යටතේ 2025 නොවැම්බර් සිට 2030 දක්වා සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වන අතර, මෙහි ප්‍රධාන ඉලක්කය වන්නේ ඉහත මුදල් සැලසුම් සහගතව යොදවමින් දිස්ත්‍රික්ක 26 හි පිහිටි නගර 82 ක ද්විතීයික රෝහල් 82 ක සේවාවන්වල ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමයි.

එමෙන්ම සෞඛ්‍ය ආවරණය (Universal Health Coverage – UHC) සාක්ෂාත් කර ගනිමින් මෙරට සෞඛ්‍ය පද්ධතියේ ද්විතීයික සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමත් කිරීම, මධ්‍යම රජය (රේඛීය අමාත්‍යාංශය) සහ පළාත් සභා සෞඛ්‍ය බලධාරීන් අතර සම්බන්ධීකරණය, සැලසුම් කරණය, පාලන ක්‍රමවේද ශක්තිමත් කිරීම, ඩිජිටල්කරණය, සහයෝගීතාව සහ අත්දැකීම් හුවමාරු කර ගැනීම මෙන්ම වැඩිදියුණු කිරීම ද අරමුණු කර ගනිමින් මෙම තෙදින සංවාදය පැවැත්විණි.

සම්මන්ත්‍රණයේ සමාප්ති සැසියේදී නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා විසින් “ශ්‍රී ලංකාවේ ද්විතීයික සෞඛ්‍ය සේවා අංශයේ අනාගත සංවර්ධනය පිළිබඳ දේශනයක් සිදු කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) අතර පවතින අඛණ්ඩ සහයෝගීතාවය මත ක්‍රියාත්මක මෙම වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක ප්‍රතිඵල පදනම් කරගත් ණය මුදලක් (Results Based Loan – RBL) ලබාදෙන බව ද පැවසිය.

මෙම ව්‍යාපෘතිය හුදු මූල්‍ය ආධාරයක් පමණක් නොව, ශ්‍රී ලාංකීය ජනතාවගේ සෞඛ්‍යය හා අනාගතය වෙනුවෙන් කරන ලද දිගුකාලීන ආයෝජනයක් බවත්, ව්‍යාපෘතියේ ප්‍රගතිය ප්‍රධාන දර්ශක 8 ක් සහ අනු-දර්ශක 7 ක් ඔස්සේ දැඩි ලෙස නිරීක්ෂණය කෙරෙන බවත්, සියලු ප්‍රතිපාදන අපේක්ෂිත සෞඛ්‍ය ප්‍රතිඵල අත්කර ගැනීම වෙනුවෙන් සෘජුවම දායක විය යුතු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

සමස්ත අරමුදල්වලින් 85%ක්ම පළාත් සභා පාලනය යටතේ පවතින සෞඛ්‍ය සේවා දියුණු කිරීම සඳහා පලාත් සභා වෙත ලබාදෙන බවත්, ඉතිරි 15% ක ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් කළමනාකරණය කෙරෙමින් ජාතික සායනික මාර්ගෝපදේශ සකස් කිරීම, ඖෂධ ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීම, සහ කාර්ය මණ්ඩල ධාරිතාව වර්ධනය කිරීම සඳහා යොදා ගැනෙන බවද නියෝජ්‍ය ‌‌‌අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදි.

එහිදී නියෝජ්‍ය අමාත්‍යතුමා පැවසූවේ මෙම සංවාදය මගින් පළාත් හා ජාතික මට්ටමේ සෞඛ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කරමින්, ජනතාවට වඩාත් ගුණාත්මක, කාර්යක්ෂම සහ සාධාරණ සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා නව ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග හඳුන්වාදීමට වැදගත් දායකත්වයක් ලබාදෙන ලබයි.

මෙම වැඩසටහන ශ්‍රී ලංකා රජය, ජපාන රජය, JICA සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) මෙන්ම සමෘද්ධිමත් සහ ඔරොත්තු දෙන ආසියා-පැසිෆික් කලාපයක් සඳහා ජපාන අරමුදල (Japan Fund for Prosperous and Resilient Asia and the Pacific) ඇතුළු සංවර්ධන හවුල්කරුවන්ගේ සහයෝගයෙන් සංවිධානය කර තිබුණි.

මෙම සැසිය සඳහා මුදල් කොමිෂන් සභාවේ (Finance Commission of Sri Lanka) ලේකම් ඒ.ටී.එම්.යූ.ඩී.බී. තෙන්නකෝන්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ජී. එච්. එම්. ඒ. ප්‍රේමසිංහ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ප්‍රසම්පාදන / Procurement) පී. පී. එස්. රෝහණ ද සිල්වා, අතිරේක ලේකම් (ඉංජිනේරු සේවා) සාලින්ද බණ්ඩාර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන වෛද්‍ය එස්. ශ්‍රීධරන්, විශේෂඥ වෛද්‍ය ඩී.පී.එස්. සාගරි කිරිවන්දෙනිය ඇතුළු නිලධාරීන්, ශ්‍රී ලංකාවේ ADB ව්‍යාපෘතියේ කණ්ඩායම් ප්‍රධානී සෞඛ්‍ය විශේෂඥ Dai -Ling Chen, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, මහාචාර්යවරුන්, රෝහල් අධ්‍යක්ෂවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.