නිමල් රාජපක්ෂ
පිරිසිදු හා විනිවිද පෙනෙන පාලනයක් තුළ රජය සැබෑ දේශපාලන නිදහසක් රටට ලබා දී තිබෙන බවත්, පිරිසිදු දේශපාලන භාවිතාවක් ප්‍රායෝගිකව රටට හඳුන්වා දී තිබෙන බවත් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පැවසීය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොන්සල් ජෙනරාල් කාර්යාලය විසින් ඩුබායි හි දී සංවිධානය කළ 78 වන ජාතික නිදහස් දින උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
එම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා සමග කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහත්වරුන් ද එක්වූහ.
ශ්‍රී ලංකාවේ පැවැත්වූ අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමිව ඩුබායි හිදී පැවති මෙම නිදහස් දින සැමරුම ද “ගොඩනගමු ශ්‍රී ලංකා” තේමාව යටතේ පවත්වන ලදි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.
“රටක් ලෙස අපිට අභියෝග රාශියක් ජය ගැනීමට තිබෙනවා. එම අභියෝග ජය ගැනීමට රටේ ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. ඒ වගේම ශක්තිමත් ආර්ථිකයක් තළ සැබෑ ආර්ථික නිදහසක් රටට උරුම වෙනවා. අස්ථාවර ආර්ථිකයක් සමග රට බාරගත් රජය දැන් එය ස්ථාවර කර තිබෙනවා. 1977 න් පසු අඩුම අයවැය පරතරය වාර්තා කිරීමට අපිට හැකිවූණා. දූෂණයෙන් තොරව රාජ්‍ය ආදායම වැඩිකර තිබෙනවා. දිට්වා සුළි කුණාටුව හරහා වුවත් රට වැටීමට අපි ඉඩක් තැබුවේ නැහැ. නැවත රට ගොඩනැගීමට අමතර ප්‍රතිපාදන වෙන කරමින් ඉදිරිපත් කළ සංවර්ධන අයවැය යෝජනා ක්‍රියාත්මක කරනවා.”
“ඒ වගේම සංස්කෘතික නිදහසත් සාක්ෂාත් කිරීම ඉතා වැදගත්. ජාතික සමගිය ගොඩනගමින් ආගමික හා සංස්කෘතික නිදහස සෑම ජන කොටසකටම තහවුරු කිරීමට රජය කැපවෙනවා.”
ශ්‍රී ලංකා අමාත්‍යවරුන් තිදෙනෙකුගේ සහභාගීත්වයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවත්වන ලද ජාතික නිදහස් දින සැමරීම මෙය වන බව කොන්සල් ජනරාල් ඇලෙක්සි ගුණවර්ධන මහතා රැස්ව සිටි පිරිසට අවධාරණය කළේය. ශ්‍රී ලංකාවට විදේශ විනිමය සපයන ප්‍රධාන රටක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ මේ වන විට ලක්ෂ 3කට ආසන්න ශ්‍රී ලාංකිකයින් පිරිසක් ජීවත් වේ.
මෙම අවස්ථාවේ දී ඩුබායි හි වෙසෙන වෘත්තිකයින් සමඟ අමාත්‍යවරුන් තිදෙනා කෙටි පිළිසඳරක යෙදුණු අතර “ගොඩනගමු ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය සඳහා ඔවුන්ට ලබාදිය හැකි දායකත්වය ඔවුන් විසින් අමාත්‍යවරුන් වෙත පෙන්වා දෙන ලදි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්ය මණ්ඩලය, රාජ්‍ය නිළධාරින් ඇතුළු එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් එක්වූහ.
