ප්‍රතිසංස්කරණය කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය ගෘහ නිර්මාණ ශිල්පයේ සංකේතයක් පමණක් නොව යුක්තිය සාධාරණත්වය ප්රජාතන්ත්රවාදී පාලනය සහ නීතිය සාධාරණත්වය ශක්තිමත් වන සමාජයක් සදහා ජීවමාන සාක්ෂියක් බව අධිකරණ ඇමති පවසයි.
කොළඹ, අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය යටතේ නවීකරණය කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය විවෘත කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන්, අගවිනිසුරු ප්රිති පද්මන් සුරසේන, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර හා ශ්‍රී ලංකාවේ චීන තානාපති QI Zhenhong යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් අද (05) පස්වරුවේ සිදු විණි.
එහිදී අදහස් පළ කරමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ,
ශ්‍රී ලංකාව සහ මහජන චීන සමුහාණ්ඩුව අතර පවතින දිගු කාලීන මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් වශයෙන් මෙරට නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා උපරිමාධිකරණ සංකීර්ණය ප්‍රදානයක් ලැබුණා.
එහි ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් තාක්ෂණික සහ මුල්‍ය පහසුකම් වෙනුවෙන් චීන රජයට ස්තූතිවන්ත වෙනවා. මෙහි පළමු අදියර ලෙස පසුගිය වසරේ ජනවාරි මස 15 වැනි දින අභියාචනාධිකරණ කොටස අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම සිදු කළා. ශ්‍රේෂ්ඨාධිකරණය යනු අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අවසාන ආරක්ෂකයා සහ අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පද්ධතියේ උච්චතමයා බව සඳහන් කළ යුතුයි.
එහි ස්වාධීනත්වය අඛණ්ඩතාව මහජන විශ්වාසය සඳහා සහ යුක්තිය සාධාරණව ඉටු කිරීම අත්‍යවශ්‍යයි. මෙම ප්‍රතිසංස්කරණ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමටත් වඩා අපගේ අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය ශක්තිමත් කරන අපගේ සංකේතයක් බව සඳහන් කළ යුතුයි.
ශක්තිමත් සහ ගෞරවණිය ශ්‍රේෂ්ඨාධිකරණයක් යනු සාධාරණ සහ ප්රජාතන්ත්රවාදයේ මුලික ස්ථානයක් බව අවබෝධ කර ගත යුතුයි. නුතන ප්රජාතන්ත්රවාදය තුළ අධිකරණය යනු ප්රජාතන්ත්රවාදයේ හවුල්කරුවෙකු වන අතර, ආයතන ශක්තිමත් කිරීම සහ සමාජය පරිවර්තනය සදහා කාලය ගත වන අතර, නීතියට ගරු කිරීමේ සංස්කෘතියක් ගොඩ නැගීම වෙනුවෙන් රජයෙන් පුරවැසියන්ගෙන් ඉවසීම සාමුහික වගකීම අවශ්‍ය වෙනවා.
මෙරට ජනතාවගේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමේ හා යුක්තිය පසිදලීමේ ක්‍රියාවලියේ භෞතික සම්පත් සැපයීමට ශක්තියක් වෙමින් 1988 වසරේ දී සැප්තැම්බර් 17 වන දින අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය ත්‍යාගශීලීත්වයක් ලෙස මෙරටට ප්රදානය කර තිබේ.
උපරිමාධිකරණ සංකීර්ණ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා 2021 දෙසැම්බර් 21 වන දින මහජන චීන සමුහාණ්ඩුවේ වාණිජ අමාත්‍යාංශය මෙරට අධිකරණ අමාත්‍යාංශය හා චීන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය අතර ගිවිසුම් අත්සන් කෙරිණි.
ගිවිසුම් ප්‍රකාරව යුවාන් මිලියන 240ක චීන රජයේ මුල්‍ය ආධාර යටතේ උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු 2023 අප්‍රේල් මස 23 වන දින ආරම්භ වු අතර, ඇස්තමේන්තු සකස් කිරීමේදී ව්‍යාපෘතිය සදහා වැය වන මුදල යුවාන් මිලියන 229 ක් වු හෙයින් පරිපූර්ණ ඇස්තමේන්තු මුල්‍ය ගිවිසුමකට නැවත වරක් අත්සන් කර තිබේ.
උපරිමාධිකරණ සංකීර්ණයේ නවීකරණ කටයුතු අවසන් බවට වු ගිවිසුමට අත්සන් කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා සහ ශ්‍රි ලංකාවේ චීන තානාපති QI Zhenhong මහතා අතර සිදු විය. නවීකරණය කරන ලද උපරිමාධිකරණ සංකීර්ණයේ යතුර සංකේතාත්මකව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය විසින් අගවිනිසුරු ප්රිති පද්මන් සුරසේන මහතා වෙත භාරදීම ද මෙහිදී සිදු වුණි.
