මාලන් විතාන –
මෙරට ජනතාවට අවශ්‍යකරන ප්‍රතිකාර සේවාවන් කාර්යක්ෂමව, විධිමත්ව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය ක්ෂේත්රය හා සම්බන්ධව කටයුතු කරන පෞද්ගලික අංශය සැපයුම්කරුවන් ලෙස නොව ජාතික සෞඛ්‍ය සේවා සංවර්ධන වැඩපිළිවෙලේ හවුල්කරුවන් ලෙස සැමවිටම සලකන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණ මහතා අවධාරණය කරනු ලැබීය.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලයේ 11වන වාර්ෂික මහා සභා සැසිවාරයට (11th Annual General Meeting – Sri Lanka Chamber of Medical Devices Industry) ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්ය. උත්සවය පසුගියදා කොළඹ Cinnamon Life හෝටලයේ දී පැවැත්විණි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා සහයෝගීතාවය, විනිවිදභාවය, අන්‍යෝන්‍ය විශ්වාසය සහ සුහදතාවයෙන් කටයුතු කිරීම තුළින් ඇතිවිය හැකි අභියෝගයන්වලට සාර්ථකව මුහුණ දියහැකිබව අවධාරණය කළ අතර විශේෂයෙන් ඒ තුළින් පෞද්ගලික හා රාජ්‍ය අංශයන්හි සියලු දෙනා එක්ව සහයෝගයෙන්, කාර්යක්ෂම සහ ක්ෂණික ප්‍රතිචාර දක්වන සෞඛ්‍ය සේවා පද්ධතියක් ගොඩනගා ගත හැකි බව ද පැවසීය.
මෙරට රෝගී සත්කාර සේවාවන් සඳහා වෛද්‍ය තාක්ෂණික උපකරණ සහ නව්‍ය විසඳුම් සැපයීමෙන් සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලය දක්වන අඛණ්ඩ කැපවීම විශේෂයෙන් අගය කළ වෛද්‍ය හංසක විජේමුණි මහතා ඒ පිළිබඳ ද සිය කෘතඥතාවයද මෙහි දී පළ කර සිටියේය.
වෛද්‍ය උපකරණ කර්මාන්ත අංශය නවීන සෞඛ්‍ය ප්‍රතිකාර සේවා ක්ෂේත්රයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරන අංශයක් බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා මෙරට ජනතාව නීරෝගීමත් ජනතාවක් බවට පත් කිරීම තුළින් ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු වන බවද සඳහන් කළේ ය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය අමාත්‍යවරයා, වත්මන් රජය මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය මෙරට සෞඛ්‍ය සේවාව ගොඩනැගීමේ සහ ශක්තිමත් කිරීමේ කාර්යභාරය අඛණ්ඩව සිදුකරන බවත් එම කාර්යයේදී ආරක්ෂිත, ඵලදායී සහ උසස් තත්ත්වයේ වෛද්‍ය උපකරණ සඳහා ප්‍රවේශය මූලික අවශ්‍යතාවයක් ලෙස හඳුනා ගෙන ඇති බවත් පැවසීය. එමෙන් ම මෙරට ජීවත්වන ඕනෑම පුද්ගලයෙකුට ජීවත්වන ස්ථානය හෝ ආර්ථික තත්ත්වය නොසලකමින් ගුණාත්මක, කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබා දීම සහතික කිරීම ප්රමුඛ වගකීමක්වන බව ද අමාත්‍යවරයා සදහන් කළේ ය.
ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම අවදානමට ලක් කළ නොහැකි බව මෙහි දී සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය පද්ධතියට එක්වන සියලුම වෛද්‍ය උපකරණවල ආරක්ෂාව, කාර්යක්ෂමතාව සහ විශ්වාසනීයත්වය පිළිබඳ ජාත්‍යන්තර පිළිගත් ප්‍රමිතීන්ට අනුකූලව සහතික කිරීම සඳහා විධිමත් නියාමන ප්රමිතීන් සහ තත්ත්ව සහතික කිරීමේ ශක්තිමත් යාන්ත්‍රණයක් සෞඛ්‍ය අමාත්‍යාංශය පවත්වා ගෙන යන බව ද අවධාරණය කර සිටියේය.
ශ්‍රී ලාංකීය ජනතාවට ඉහළ ප්‍රමිතියෙන් යුත් වෛද්‍ය තාක්ෂණය සහ උපකරණ සාධාරණ මිලකට, අඛණ්ඩව ලබාදීමට පරිසරය සකස් කිරීම අරමුණ කරගනිමින් ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලය 2015 වර්ෂයේදී ආරම්භ කර ඇත. වර්තමානය වන විට මෙරට වෛද්‍ය උපකරණ ආනයනකරුවන් සහ නිෂ්පාදකයින්ගෙන් 90%කට වඩා වැඩි සංඛ්‍යාවක් මෙම සංගමයේ සාමාජිකත්වය දරණු ලබන අතර ආයතන සහ සමාගම් ප්‍රමාණය 70 කට අධිකය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අර්ජුණ තිලකරත්න, ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලයේ සභාපති ගෙහාන් සෙනෙවිරත්න,ලේකම් රුෂානි ගුණතිලක, උප සභාපතිවරුන්වන ක්ලයිව් සී. ජේම්ස් (පත්වීමට නියමිත සභාපති), ඩේවින් ගුණවර්ධන, භාණ්ඩාගාරික තෆ්ගීර් හසිබින් අම්මොන්, නියෝජ්‍ය ලේකම් වසන්ත අබේසිංහ යන මහත්ම මහත්මීන් මෙන්ම එම සංගමය නියෝජනය කරමින් සාමාජිකයින් පිරිසක්ද එක්ව සිටියහ.
