Spread the love

.

දේවින්ද පිණිදිය

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව අඩු ආදායම් ලාභී පවුල් සවිබලගැන්වීමේ අරමුණින් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරන සමෘද්ධි සුව බොජුන් හල් ව්‍යපෘතියේ තවත් එක් සුව බොජුන් හලක් අද (29) දින මාතලේ දිස්ත්‍රික්කයේ, පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කොහොලන්වෙල ග්‍රාම සේවා වසමේ ඒ 9 මාර්ගයට මුහුණ ලා විවෘත කළා.

ඒ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ සහ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියංවල මහතාගේ ප්‍රධානත්වයෙනි.

සමෘද්ධි සුවබොජුන් හල් ව්‍යාපෘතියේ 51 වන සුව බොජුන් හලයි මෙලෙස විවෘත්ත කළේ. ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීම සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විශාල කාර්යභරයක් ඉටු කරමින් සිටින බවත් ඒ සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ශක්තිමත්ව ඉදිරියට ගෙන යා යුතු බව අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා උත්සව සභාව අමතමින් ප්‍රකාශ කළා.

තවද කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසයකයන් ඉහලට ඔසවා තැබීම වෙනුවෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව දැවැන්ත කාර්යභාරයක් ඉටු කරමින් සිටින බවද ඒ මහතා අවධාරණය කළා. 2026 වර්ෂය ඇතුලත සමෘද්ධි සුව බොජුන් හල් 100ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතිබවත්, ඒ මගින් අඩු ආදායම් ලාභී පවු සවිබලගැන්වීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමටත් අපේක්ෂා කරන බව අමාත්‍ය උපාලි පන්නිල මහතා සඳහන් කළා.

මෙම අවස්තාවට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් දම්මික මුතුගල මහතා, මාතලේ දිස්ත්‍රික් ලේකම්තුමන්, මාතලේ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ තුමිය, පල්ලේපොල ප්‍රාදේශීය ලේකම්තුමිය, සමෘද්ධි සංවර්ධන නිළධාරීන්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රතිලාභීන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.