Spread the love

නිමල් රාජපක්ෂ-

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ “රටම එකට” ජාතික මෙහෙයුමට සමගාමීව විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර, එහි මූලික සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් තරුණ පරපුර මුදා ගැනීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මෙරට තරුණ පරපුරෙහි විරෝධය ප්‍රකාශ කිරීම සඳහා ග්‍රාමීය මට්ටමින් තරුණ්‍යය ඒකරාශී කිරීමේ අරමුණින් ජාතික තරුණ සේවා සභාව සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය එක්ව ජූනි 26 දිනට යෙදෙන මත්ද්‍රව්‍ය අනිසි භාවිතය සහ නීති විරෝධී ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව මෙම තරුණ සමුළුව සංවිධානය කර තිබේ.

විෂ මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරුවීම හේතුවෙන් මෙරට තරුණ පරපුර විශාල වශයෙන් සමාජ, ආර්ථික සහ සෞඛ්‍ය බිඳවැටීම්වලට ලක්වෙමින් පවතී.  මේ සඳහා බොහෝ ලෙස ගොදුරු වී ඇත්තේ වයස අවුරුදු 20 – 35ත් අතර වයසේ පසු වන තාරුණ ප්‍රජාව බව සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.

මෙය මෙරට ශ්‍රම බලකායෙහි ඵලදායිතාවට මහත් බලපෑමක් එල්ල කරන්නකි. මෙම උවදුර රටින් මුලිනුපුටා දැමීම සහ තරුණ්‍යය එයින් ගලවා ගැනීමට රජයේ ප්‍රධාන වැඩසටහනක් ලෙස “රටම එකට” ජාතික මෙහෙයුම ක්‍රියාවට නංවා තිබේ.

විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවේ සැලසුම් සහ මූලික සංවිධාන කටයුතු පිළිබඳ මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර, ජනාධිපති මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර, ජාතික තරුණ සේවා සභාවේ සභාපති සුපුන් විජේරත්න යන මහත්වරු සහ අදාළ ආයතනවල ප්‍රධානීන්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.