නිමල් රාජපක්ෂ
ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ධූරයට අභිනවයෙන් පත් වූ Isabelle Catherine Martin මහත්මිය, 2025 දෙසැම්බර් 15 වන දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ ව්‍යසන තත්ත්වය පිළිබඳව සිය ශෝකය පළ කළ කැනේඩියානු මහ කොමසාරිස්වරිය, රට යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවට සිය සහයෝගය ලබා දීමට කැනේඩියානු රජය සූදානම් බව සඳහන් කළාය.
මුදා ගැනීමේ මෙහෙයුම් සහ ක්ෂණික සහන දියත් කිරීම් අවසන් කිරීමෙන් පසු දෙවන අදියර ලෙස රට නැවත ගොඩ නැගීමේ අදියරට පිවිස ඇති බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය, කැනඩාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව විසින් ලබා දුන් සහාය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළාය.
දෙසැම්බර් 16 සිට පාසල් නැවත විවෘත කිරීමට නියමිත බවත්, බහුතරයකට සාමාන්‍ය ලෙස අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කිරීමට හැකි වන බවත් අග්‍රාමාත්‍යවරිය තවදුරටත් සඳහන් කළාය.
රට සාමාන්‍ය තත්ත්වයට පත් කරමින් සුදුසු පරිදි සහන මධ්‍යස්ථාන ක්‍රමයෙන් අඩු කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී අවධාරණය කළාය.
ප්‍රධාන ජීවනෝපාය මාර්ගයක් ලෙස මෙන්ම රටේ ආර්ථික ස්ථාවරත්වය ගොඩ නැගීම සඳහා වැදගත් කෘෂිකාර්මික අංශ හඳුනා ගනිමින්, කෘෂිකාර්මික අංශයේ අභිවෘද්ධිය සඳහා කැනේඩියානු රජයේ සහාය ලබා දීමට කටයුතු කරන බව මහ කොමසාරිස්වරිය තවදුරටත් සඳහන් කළාය.
සියලුම පුරවැසියන් ඇතුළත් වන සහ ඔවුන්ට සමාන අවස්ථා ලැබෙන බව සහතික කිරීම සඳහා රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළ මහ කොමසාරිස්වරිය, පරිවර්තන සහ සන්නිවේදන කටයුතු සඳහා කෘතිම බුද්ධි මෙවලම්වල සහාය ලබා ගැනීමේ වැදගත්කම පිළිබඳව ද සඳහන් කළේය.
අධ්‍යාපන ක්ෂේත්රයේ සහයෝගීතාව පුළුල් කිරීමත්, විශේෂයෙන් ගුරු හුවමාරු වැඩසටහන් සහ පවත්නා ශිෂ්‍ය සහයෝගීතා සමඟ දෙරටේ සහයෝගීතාව පුළුල් කිරීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරිය මෙහිදී නව කොමසාරිස්වරියගේ අවධානයට යොමු කළ අතර, පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් සංවිධානය (COL) සමඟ ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළා ය.
