Spread the love

නිමල් රාජපක්ෂ

සුවපත් රටක් උදෙසා “Healthy Sri Lanka” නව්‍ය වැඩසටහන යටතේ වතමන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන “ආරෝග්‍යා” ජංගම සුව සායනය වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් පසුගියදා ආණමඩුව ජාත්‍යන්තර ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

මෙම “ආරෝග්‍යා” ජංගම සුව සායනය “ආරෝග්‍යා” ජංගම සුව සායන වැඩසටහන් මාලාවේ 54 වන වැඩසටහන විය.

මෙම ජංගම සායනය ආණමඩුව ජාත්‍යන්තර ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩවාසය කරන භික්ෂූන් වහන්සේලා ඇතුළු එම භික්ෂූන් වහන්සේලාට ඇප උපස්ථාන කරන පිරිස ඉළක්ක කර ගනිමින් පවත්වන ලද අතර, සුව සායනයෙන් සෞඛ්‍ය සේවා ලබා ගැනීම සඳහා ප්‍රදේශවාසීන් ද එක්ව සිටියහ.

මෙම ජංගම සුව සායනයේ දී අක්ෂි, දන්ත, දියවැඩියා, ශ්වසන පද්ධතියට අදාළ රෝග පරීක්ෂා කිරීම, රුධිර පීඩන පරීක්ෂාව, ECG පරීක්ෂාව, දේහ ස්කන්ධ දර්ශකය පරීක්ෂා කිරීම, නිදර්ශක ලබා ගැනීම, කොලෙස්ට්‍රෝල් පරීක්ෂාව, රුධිර සීනි පරීක්ෂාව, ආයුර්වේද වෛද්‍ය, මානසික උපදේශක සේවා සහ පෝෂණවේදී උපදෙස් ලබාදීම ඇතුළු වෛද්‍ය සායන රැසකින් සමන්විත විය.

කොළඹ ජාතික රෝහල ඇතුළු ප්‍රදේශය අවට රජයේ රෝහල්වල සහ සෞඛ්‍ය ආයතනවල සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන්, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයන් මෙන්ම කණිෂ්ඨ කාර්ය මණ්ඩල පිරිසක් තමසේවා දායකත්වය මෙම ජංගම සුව සායන සදහා ලබා දෙන ලදි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.