Spread the love

නිමල් රාජපක්ෂ-

මොන්ගෝලියාවේ උලාන්බාටාර් (UNCCD) COP17 පාරිසරික සමුළුවට සමගාමීව පැවති ජලය සහ නියඟයට ඔරොත්තුදීමේ හැකියාව පිළිබඳ ඉහළ පෙළේ අමාත්‍ය සංවාදයට ගරු පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා සහභාගී විය.


දේශණයට එක්වෙමින් භූමි හායනය නිෂේධනය (Land Degradation Neutrality), තිරසාර භූමි කළමනාකරණය සහ නියඟයට ඔරොත්තුදීමේ හැකියාව ජනතා කේන්ද්‍රීය සහ සහයෝගී ප්‍රවේශයක් ඔස්සේ ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම යළි අවධාරණය කළේය.


ජල සුරක්ෂිතතාව සෞඛ්‍ය සම්පන්න භූමි හා ඔරොත්තු දෙන පරිසර පද්ධති මත රඳා පවතින බව අවධාරණය කළ අමාත්‍යතුමා, භූමිය, ජලය, දේශගුණය සහ ජෛව විවිධත්වය ඒකාබද්ධව කළමනාකරණය කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන යන ක්‍රියාමාර්ග පිළිබඳවද සඳහන් කළේය. සාම්ප්‍රදායික වැව්ගම්මාන , එල්ලංගා පද්ධති ප්‍රතිසංස්කරණය, වනාන්තර රක්ෂිත කිරිමේ “වනස්පති” ජාතික වැඩසටහන සහ තෙත්බිම් ඇතුළු වැදගත් පරිසර පද්ධති සංරක්ෂණය කිරීම එහිදී විශේෂයෙන් අවධාරණය කරන ලදී.


නියඟය අර්බුදයක් බවට පත්වීමට පෙර ඔරොත්තුදීමේ හැකියාව ගොඩනැගීම සඳහා දේශගුණික තොරතුරු, පූර්ව අනතුරු ඇඟවීම්, තාක්ෂණය, ධාරිතා සංවර්ධනය සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ප්‍රමාණවත් හා පුරෝකථනය කළ හැකි මූල්‍ය පහසුකම් සඳහා වැඩි ජාත්‍යන්තර සහයෝගීතාවක් අවශ්‍ය බව ශ්‍රී ලංකාව අවධාරණය කළේය.


භූමි ප්‍රතිසංස්කරණය, ජල සුරක්ෂිතතාව සහ නියඟයට ඔරොත්තුදීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා UNCCD, කලාපීය හවුල්කරුවන් සහ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම ද අමාත්‍යතුමා සිය දේශණයේදි යළි තහවුරු කළේය.


එක්සත් ජාතීන්ගේ කාන්තාරකරණය හා නියඟය පිටුදැකීමේ සම්මුතියේ (UNCCD) 17 වන පාර්ශවකරුවන්ගේ මහා සම්මේලනය (COP17) “Restoring Land. Restoring Hope.” යන තේමාව යටතේ 2026 අගෝස්තු 17 සිට 28 දක්වා මොන්ගෝලියාවේ උලාන්බාටාර් නගරයේදී පැවැත්වේ. කාන්තාරකරණය, භූමි හායනය සහ නියඟය යන අන්තර් සම්බන්ධිත ගෝලීය අභියෝග සඳහා තිරසාර විසඳුම් සෙවීම සහ ඒ සඳහා ජාත්‍යන්තර ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ වේ.