කෘත්‍රීම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණය සමඟ මෙරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදු කිරීමට රජය සැලසුම් කර තිබෙන බවත්, ඒ සඳහා කැමැත්තක් දක්වන පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින්ට අවශ්‍ය සහාය ලබා දීමට රජය කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සඳහා මෙම වසරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 100ක් තෝරාගෙන ඇති අතර එහි පළමු අදියර යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 25කට අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කරන බවත්, දෙවන අදියර යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 75ක් නවීන කෘෂිකර්මාන්තය සඳහා යොදා ගන්නා බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ වේගා මෝටර් රථයේ නිර්මාතෘ ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා කෘත්‍රීම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කෑගල්ල නෙළුම්දෙණිය ප්‍රදේශයේ ඉදිකර ඇති AI Grow සමාගමට අයත් හරිතාගාර පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට පෙරවරුවේ එක් වෙමිනි.
මෙරට කෘෂිකාර්මික ක්ෂේත්රයේ වසර 07කට වැඩි පළපුරුද්දක් ඇති AI Grow සමාගම කෘත්‍රිම බුද්ධිය (AI) සමඟ හරිතාගාර වගාව සහ විවෘත වගාව යන දෙඅංශයම ස්වයංක්‍රීය ක්‍රම මඟින් පවත්වාගෙන යනු ලබයි.
පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සකස් කරන ලද හරිතාගාර සැලසුම් කිරීම මෙන්ම ඒවා ඉදිකිරීම මෙම සමාගම විසින් සිදු කරනු ලබන අතර, එම හරිතාගාර සඳහා අඛණ්ඩ සේවා සහ නඩත්තු සේවා සහාය ද ලබා දෙයි.
එම සමාගම යටතේ කෑගල්ල නෙළුම්දෙණිය ප්‍රදේශයේ ඉදිකර ඇති මෙරට ප්‍රථම හරිතාගාරය කොටස් තුනකින් සමන්විත අතර තක්කාලි වර්ග, බෙල්පෙපර් හා සලාද කොළ වර්ග මෙම හරිතාගාරය තුළ වගා කරයි. බිම්මල් වගාව සඳහා වෙන් වූ වෙනම හරිතාගාරයක් ද ක්‍රියාත්මක කරයි.
දැනට AI Grow සමාගමේ අස්වැන්නෙන් වැඩි ප්‍රමාණයක් අපනයනය කරන අතර ඔවුන්ගේ වෙළෙඳ නාමය යටතේ දේශීය සුපිරි වෙළෙඳසැල් වෙතද සිය නිෂ්පාදන සපයයි.
එමෙන්ම මෙම සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන හරිත කෘෂිකාර්මික ස්වයංක්‍රීය උපාංග දේශීය ගනුදෙනුකරුවන්ට මෙන්ම විදේශයන්ට ද අළෙවි කිරීම ද සිදු කරයි.
AI Grow සමාගම දේශීය විශ්වවිද්‍යාල අතර ඇතිකරගෙන ඇති සහයෝගීතාවය මගින් නවීන කෘෂිකර්මාන්තය සඳහා කෘත්‍රීම බුද්ධිය (AI) සම්බන්ධ කර ගැනීම සම්බන්ධ උසස් අධ්‍යාපන අවස්ථා සඳහා පහසුකම් සැලසීම ද සිදු කරනු ලබයි.
AI Grow සමාගමේ කෑගල්ල නෙළුම්දෙණිය හරිතාගාරය වෙත අද පෙරවරුවේ ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නවීන තාක්ෂණය සමඟ කෘෂිකාර්මික මෙහෙයුම් හා නිෂ්පාදන කටයුතු සිදු කෙරෙන ආකාරය නිරීක්ෂණය කළේය.
ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා විසින් නිපදවා තිබෙන ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථ සහ යතුරු පැදි නිරීක්ෂණය කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී එක් විය.
