Spread the love

නිමල් රාජපක්ෂ 

කොලොන්නාවේ වැසි ජල අපවහන හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක සැළලිහිණි මාවත ඇල සංවර්ධනය හා ඒ ආශ්‍රිත පාලම්, බෝක්කු, ජල රඳවන තටාක, වැව් සහ කුඩා ඇල මාර්ග පද්ධතිවල ප්‍රතිසංස්කරණ කටයුතු සොයා බැලීම සඳහා ක්ෂේත්‍ර පරීක්ෂාවක්, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අද දින (28) සිදු කෙරිණ….!

කැලණි ග‌‌ගේ පහත්බිම් ආශ්‍රිතව පිහිටා ඇති කොලොන්නාව භූමි ප්‍රදේශය, සීඝ්‍ර නාගරීකරණය හා ජලාපවහන පද්ධති දීර්ඝ කාලයක් පුරා අවහිරව පැවතීම හේතුවෙන් නිරන්තර ගංවතුර තර්ජිත ප්‍රදේශයක් බවට පත්ව ඇත. ජලාපවහන පද්ධති නවීකරණය මගින් නාගරික ජල ගැලීම් සහ සුළු ගංවතුර තත්ත්වයන් වැලැක්වීමටත් පූර්ව අනතුරු ඇඟවීම් හා ඉක්මන් ජල බැසයාම් පහසුකම් වැඩිදියුණු කිරීම තුලින් ගංවතුර හානි අවමකර, ඇතිවන ජනපීඩාව සමනය කිරීමත් වෙනුවෙන් මෙම විශේෂ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත….!

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක සමස්ත ව්‍යාපෘතියට රුපියල් මිලියන 10,700 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇත. නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, මාර්ග සංවර්ධන අධිකාරිය සහ පලාත් පාලන ආයතනවල අධීක්ෂණයෙන් ජල පාලන ව්‍යාපාතිය ක්‍රියාත්මක කෙරේ…!

එරංග ගුණසේකර නියෝජ්‍ය අමාත්‍යවරයා සැළලිහිණි මාවත ඇල මාර්ගයේ අංගොඩ ඉහළ කොටසේ සිට කැලණිමුල්ල පහල කොටස දක්වා පා ගමනින් ක්ෂේත්‍ර පරීක්ෂාවට එක්විය. ඊට සමගාමීව කැලණිසිරි පාලමට සම්බන්ධිත කිත්සිරිමෙවන් මාවත සහ එහි බේලි පාලම (රා කඩේ පාර සහ පාලම), පෙතියගොඩ කුඩා පාලම, ගොන්ගහවිට කුඩා පාලම, සිරි පැරකුම්බා – ගොඩැල්ල මග පාලම, අංගොඩ මහවත්ත වගුරු බිම් ප්‍රදේශය, කිත්සිරිනුවන් මාවත ඇතුළු ඇල මාර්ග, කුඩා පාලම් සහ ජල බස්නා කාණු පද්ධති ප්‍රතිසංස්කරණයට අදාල සැලසුම් ද නිරීක්ෂණය කලේය…!

කොලොන්නාවේ ජල පාලන ව්‍යාපෘතිය යටතේ ප්‍රධාන ඇල මාර්ග හතරක් පුළුල් කර සංවර්ධනය කෙරේ. ඒ දහම්වෙල ඇල (කිලෝමීටර් 3.88), පස්සන්න ඇල (කිලෝමීටර් 4.48), සැලළිහිණි මාවත ඇල (කිලෝමීටර් 3.25) සහ දඞුකොට ඇල (කිලෝමීටර් 0.97) වශයෙනි…!

අද දින ක්ෂේත්‍ර පරීක්ෂාවේ යෙදුණු සැලළිහිණි මාවත ඇල සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පළල මීටර් 13 ක් හා පත්ල මීටර් නවයක් ලෙස පුළුල් කර, වැඩි ජල ධාරිතාවක් රඳවා ගත හැකි ලෙස සංවර්ධනය කෙරේ. ව්‍යාපෘතිය වෙනුවෙන් පළල මීටර් 6.5 ක පුළුල් මාර්ගයක් ලෙස අලුතින් නඩත්තු මාර්ගයක් ඉදිකෙරෙන අතර, එය ජනතා පරිහරණයට සුදූසු ලෙසින් නිර්මාණය කෙරේ…!

මෙම අවස්ථාවට කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ උප සභාපති චන්ද්‍රසිරි පරණවිතාන, එහි මන්ත්‍රීවරුන් වන අමිල රාජපක්ෂ, ශ්‍රීනාත් තේනුවර, කීර්ති රංජිත් වීරසිංහ, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ඉදිකිරීම්) ප්‍රසාද් සිල්වා, එහි ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු ඕ. තල්ගස්වත්ත, ඉංජිනේරු හසිනි ලෙනෝරා, ඉංජිනේරු දමින්දිකා ගුණසේකර, ඉංජිනේරු සමෘද්ධි සමරවීර, ඉංජිනේරු සුසන්ත මාපා, ඉංජිනේරු හසන්ත ඇල්ලෙආරච්චි, ඉංජිනේරු පැතුම් හෙට්ටිආරච්චි, නාගරික සංවර්ධන අධිකාරියේ නගර නිර්මාණ ශිල්පීන් වන හර්ෂණී සිල්වා, ප්‍රවීන් සමරතුංග යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීහු රැසක් එක්ව සිටියහ.