Spread the love

නිමල් රාජපක්ෂ 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය අද දින (2026 ජූලි 28) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීය.  

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ප්‍රමුඛ නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය විසින් අද දිනට සිය 55 වැනි උපන් දිනය යෙදී තිබූ රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පුද ‍කිරීම සිදු කෙරිණි. අනතුරුව, සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික හමුදා රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන මොහොතේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සුභාශිංසන පිරිනැමීම සිදුකෙරිණි.

1992 වසරේදී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 10 වැනි බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල්කෝසල වර්ණකුලසූරිය, සිය වසර 33 කට අධික සේවා කාලය තුළ නාවික හමුදාවේ වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හී අණභාර නිලධාරී ලෙස හා නෞකාවන්හී අණදෙන නිලධාරී වශයෙන් රාජකාරී සිදුකොට ඇත. තවද, ඔහු නාවික හමුදා මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරි හා ආරක්‍ෂක අමාත්‍යාංශයේ නාවික හමුදා මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරි, අධ්‍යක්‍ෂ ජල ශාස්ත්‍රීය මෙහෙයුම්, ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක,  නාවික හමුදාධිපතිගේ නාවික සහයක, දකුණු නාවික විධානයේ ආඥාපති, නාවික හමුදා ජල ශාස්ත්‍රීය ප්‍රධානී, ජාතික ජල ශාස්ත්‍රඥ සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති වැනි ප්‍රමුඛ නිලතල දරා ඇති ශ්‍රී ලංකා නාවික හමුදාවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.