Spread the love

මාලන් විතාන –

ගම්පහ දිස්ත්‍රික් විදේශ රැකියා සංවර්ධන නිලධාරීන්ගේ ප්‍රගති සමාලෝචන වැඩසටහනක්, විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (15) ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

විදේශ රැකියා සම්බන්ධ සේවාවන් සමාලෝචනය කර, දිස්ත්‍රික් මට්ටමින් ජනතාවට වඩාත් කාර්යක්ෂම හා ජනහිතකාමී සේවාවක් ලබාදීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග හඳුනාගැනීම මෙහි අරමුණ විය.

විදේශ රැකියා ක්ෂේත්‍රය, පවුල්වල ආර්ථිකය ශක්තිමත් කරන, විදේශ ප්‍රේෂණ හරහා ජාතික ආර්ථිකයටද වැදගත් දායකත්වයක් ලබාදෙන ක්ෂේත්‍රයක් බැවින් විදේශගත ශ්‍රමිකයන් සහ ඔවුන්ගේ පවුල් සඳහා වඩාත් පහසු, විනිවිදභාවයෙන් යුතු හා ජනතා හිතකාමී සේවාවක් සැපයීමේ වැදගත්කම පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා ‍මෙහිදී කරුණු පෙන්වා දෙන ලදී.

රැකියා අපේක්ෂකයින්ට අවශ්‍ය මඟපෙන්වීම, විදේශගත ශ්‍රමික පවුල්වලට සහාය වීම, පැමිණිලි කළමනාකරණය, අවදානම් සහිත පවුල් හඳුනාගැනීම සහ නිවැරදි දත්ත රැස්කිරීම සඳහා සංවර්ධන නිලධාරීන් ඉටු කරන කාර්යභාරය මෙහිදී අගය කරන ලද අතර, ආරක්ෂිත හා නීත්‍යානුකූල මාර්ග පමණක් භාවිතා කරමින් විදේශ රැකියා සඳහා යොමුවීම ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී අවධාරණය කෙරිණි. රැකියා සඳහා විදේශ ගතවීමේදී ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන සහ නීත්‍යානුකූල  ක්‍රමවේදයන් භාවිතා කිරීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමත්, ව්‍යාජ විදේශ රැකියා ආයතන සහ වංචනික විදේශ රැකියා ජාවාරම්වලින් ජනතාව ආරක්ෂා කිරීමත් අත්‍යාවශ්‍ය  බව හේමචන්ද්‍ර මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.

විදේශගත ශ්‍රි  ලාංකිකයන්ට සේවා සැපයීම සහ ඔවුන්ගේ පැමිණිලි යොමුකිරීම  සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ හඳුන්වා දී ඇති LankaKonect ජංගම යෙදුම පිළිබඳවද මෙහිදී සංවර්ධන නිළධාරීන් දැනුවත් කරන ලදී.

විදේශ රැකියා සඳහා පිටත්වීමට පෙර ශ්‍රමිකයා සූදානම් කිරීම, විදේශ රැකියාව සිදුකරන කාලය තුළ ශ්‍රමිකයාගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ නැවත දිවයිනට පැමිණීමෙන් පසු අවශ්‍ය සහායන් ලබාදීම සිදුකළ යුතු බවත්සෑම ශ්‍රි  ලාංකික විදේශගත ශ්‍රමිකයෙකුගේම ගෞරවය හා සුබසාධනය ආරක්ෂා කරන, ආරක්ෂිත, විනිවිදභාවයෙන් යුතු සහ දත්ත මත පදනම් වූ විදේශ රැකියා පද්ධතියක් ගොඩනැගීම රජයේ අරමුණ බවත් මෙහිදී අවධාරණය කෙරිණි