පරිසරය යනු අපගේ පැවැත්මේජ පදනමයි. අනාගත පරපුර උදෙසා සුරක්ෂිත, සෞභාග්‍යමත් සහ හරිත මිහිතලයක් දායාද කිරීම වත්මන් රජයේ ප්‍රමුඛතම වගකීමක් ලෙස මම සලකමි.
”Urgent Climate Action” – කඩිනම් දේශගුණික ක්‍රියාකාරීත්වය යන ගෝලීය තේමාවට සමගාමීව, “තිරසර ජෛව ගෝලයක් – සදාහරිත ජීවිතයක්” යන දැක්ම පෙරදැරිව, ශ්‍රී ලංකාව මෙවර ජගත් පරිසර දිනය සමරන්නේ අතිශය තීරණාත්මක කාලවකවානුවකදීය. මෑතකදී අප මුහුණ දුන් දේශගුණික අභියෝගයන්ගෙන් ලද පාඩම් ඔස්සේ, මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශ සුරැකීම සහ පරිසර පද්ධති යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කර ඇත.
පරිසර අමාත්‍යාංශය විසින් මෙවර ජගත් පරිසර දිනය වෙනුවෙන් “දලුලන්න ඉඩදෙන්න” යන තේමාව යටතේ දිවයින පුරා ක්‍රියාත්මක කරන විවිධ ප්‍රායෝගික වැඩසටහන් මාලාව තුළින් ආගමික සංකල්ප මුල් කරගත් පරිසර සංරක්ෂණය, දේශගුණ විපර්යාස පිළිබඳ දැනුවත් කිරීම, දියවන්නා ඔය සුරැකීම, වනජීවී ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය, ජල මූලාශ්‍ර ආරක්ෂණය සහ ඖෂධීය පැළ වගාව ප්‍රවර්ධනය වැනි වැඩසටහන් මගින්, පරිසර සංරක්ෂණය හුදු අදහසකට පමණක් සීමා නොවී ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයක් බවට පත්ව ඇති බව පැහැදිලිය.
පසුගිය වසරේ ආරම්භ කළ “වනස්පති” ජාතික වැඩසටහන ඔස්සේ මෙතෙක් හෙක්ටයාර හැටතුන්දහසකට අධික වනාන්තර ප්‍රමාණයක් රක්ෂිත ලෙස ගැසට් කරමින් අප රට ඉතිහාසයට එක්වන මෙම සුවිශේෂී මොහොතේ, පරිසරය සමඟ සහජීවනයෙන් ජීවත් වීමට සෑම පුරවැසියෙකුම අධිෂ්ඨාන කර ගත යුතුය.
