විපක්ෂයක ප්‍රධාන වගකීම වන්නේ ආණ්ඩුව බොරුවට වර්ණනා කිරීම වෙනුවට සාධනීය විවේචන ඉදිරිපත් කිරීම බවත්, වත්මන් පාර්ලිමේන්තුව තමන් නියෝජනය නොකලද විපක්ෂයේ එම වගකීම ඉදිරියටද සිදු කරන බවත් පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
එහිදී පිවිතුරු හෙළ උරුමය නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
ඉතිහාසය වෙනස් කරමින් මාලිමාව ලබා ගත් විශිෂ්ට ජයග්‍රහණයට අපි උණුසුම් සුබ පැතුම් එකතු කරනවා. විශේෂයෙන්ම උතුර, දකුණ, නැගෙනහිර සහ කඳුකරය එකට ගැට ගැසීමට සමත් වුණු පළමු මැතිවරණ ජයග්‍රහණය වීම ගැන අපි හදවතින්ම සතුටු වෙනවා. සමහරු ආණ්ඩු බලය ඉල්ලන විට අපි දිගටම කිව්වේ ආණ්ඩු බලය අනිවාර්රයෙන් මාලිමාවට ලැබිය යුතුයි කියලා. රටේ ස්ථාවර පාලනයක් ඇති කරන්න වගේම මාලිමාව ජනපතිවරණයට පෙර ලබා දුන් පොරොන්දු ඉටු කරන්න පාර්ලිමේන්තු බහුතරය මාලිමාවට ලැබිය යුතුයි කියලා අපි අඛණ්ඩව කිව්වා. ඒ අනුව මාලිමාවට ජයග්‍රහණය ලැබිලා තිබෙනවා. මාලිමා ආණ්ඩුවට සියළු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි ඒ ප්‍රාර්ථනාව කරන්නේ හදවතින්මයි. මොකද ආණ්ඩුව මාලිමාවේ වුණාට රට අපේ. ආණ්ඩුව අසාර්ථක වෙනවා කියන්නේ රට ඇදගෙන වැටෙනවා කියන එකයි. රට රැක ගැනීම අපි හැමෝගේම වගකීමක්. ඒ සඳහා ආණ්ඩුවට සහය වීම අපි හැමෝගේම යුතුකමක්.
විපක්ෂයක ප්‍රධාන වගකීම වන්නේ ආණ්ඩුව බොරුවට වර්ණනා කිරීම වෙනුවට සාධනීය විවේචන ඉදිරිපත් කිරීමයි. ආණ්ඩුව වර්ණනා කලාට ආණ්ඩුවට ලැබෙන දෙයක් නෑ. නමුත් සාධනීය විවේචන ඉදිරිපත් කලොත් තමන්ගේ අඩුපාඩු සකසා ගෙන වඩාත් හොඳින් රට පාලනය කරන්න පුළුවන්. සාධනීය විවේචන කියන්නේ බොරු, මඩ සහ අවලාද වෙනුවට සාක්ෂි සහිතව තාර්කිකව ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වා දීමයි. අපි කලෙත් ඒකම තමයි.
