Spread the love

ජනාධිපති අනුර කුමාර දිසානායක නව තානාපතිවරු 6දෙනෙකු සහ මහකොමසාරිස්වරයෙකු පත්කර ඇත.

ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරයකු සතු වගකීම බව අභිනවයෙන් පත් කරන ලද ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් 07දෙනා සමඟ අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා පවසා තිබෙයි.

ඒ අනුව, ඉන්දුනීසියාවේ නව තානාපති ලෙස එස්.එස්.ප්‍රේමවර්ධන, බ්‍රසීලයේ නව තානාපති ලෙස සී.ඒ.සී.අයි.කොලොන්න, තුර්කියේ නව තානාපති ලෙස එල්.ආර්.එම්.එන්.පී.ජී.පී.බී.කදුරුගමුව, නේපාලයේ නව තානාපති ලෙස රුවන්ති දෙල්පිටිය, දකුණු කොරියාවේ නව තානාපති ලෙස එම්.කේ.පත්මනාදන්, ඕමානයේ නව තානාපති ලෙස ඩබ්ලිව්.ඒ.කේ.එස්.ද අල්විස් සහ මාලදිවයිනේ මහකොමසාරිස් ලෙස එම්.ආර්.හසන් ජනපති පත්කර තිබේ.

නව පත්වීම් ලැබූ දූත මණ්ඩල ප්‍රධානීන් වෙත සුබ පැතුම් එක් කළ ජනාධිපතිවරයා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට සේවා සැපයීමේදී කිසිදු බේදයකින් තොරව සාධාරණව කටයුතු කරන ලෙසත්, ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් ඒවාට කඩිනමින් මැදිහත් වන ලෙසත් උපදෙස් ලබා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එසේම ශ්‍රී ලංකාව මේවන විට ආර්ථික වශයෙන් ස්ථාවරත්වයට ගමන් කරමින් සිටින බැවින් රටේ වත්මන් අවශ්‍යතා සහ අභියෝග වටහා ගෙන කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත.

විශේෂයෙන් විදේශ ආදායම් ඉපයීමේදී ආයෝජන, අපනයන, සංචාරක සහ රැකියා යන ක්ෂේත්‍ර 4 තුළ තානාපති කාර්යාලවලට විශේෂ වගකීමක් පැවරී තිබෙන බවත් ඒ වෙනුවෙන් කැප වී කටයුතු කරන ලෙසයි ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ.