Spread the love

නිමල් රාජපක්ෂ –

ජපන් රජය සහ ශ්‍රී ලංකාව අතර පවතින අඛණ්ඩ සංවර්ධන සහයෝගීතාව යටතේ මෙරට පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රගමනය වෙනුවෙන් පත්ල පහත් බස් රථ හතක් පරිත්‍යාග කර ඇත. ජපන් රජයේ සහ ජපාන යොකොහමා නගර වැසියන්ගේ ඒකාබද්ධ පරිත්‍යාගක් ලෙස මෙරටට ප්‍රදානය කරන ලද නව බස්රථ හත ශ්‍රී ලංකා රජය වෙත නිල වශයෙන් බාරදීම අද දින (2026.09.02) සිදුකෙරිණ.

බස් රථ ප්‍රදානය කිරීම ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමොටා (HE Akio Isomata) මහතා අතින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා වෙත බාරදීම බත්තරමුල්ල, තලංගම, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල සහ මෙට්‍රො සමාගමේ ඒකාබද්ධ ඩිපෝ පරිශ්‍රයේ දී සිදුකෙරිණ.

මෙරට නාගරික ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීමට ආරම්භ කරන ලද මෙට්‍රො බස් සේවාවට මෙම බස් රථ හත ද අද දින සිට එක් කිරීමට නියමිතය. කොළඹ හා තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව දැනට ක්‍රියාත්මක මෙට්‍රො නාගරික ප්‍රවාහන සේවාව, මේ වනවිට බස් රථ දහයකින් පවත්වාගෙන යන අතර, නව බස් රථ එක්වීමත් සමග එම සේවාව වඩාත් කාර්යක්ෂම වනු ඇත.

සැප්තැම්බර් මස අවසන් වීමට ප්‍රථම තවත් බස් රථ එකසිය හතරක් එක් කිරීමට ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් (පුද්.) සමාගමේ කළමනාකාරීත්වය සැලසුම් කර ඇති අතර, ඒ අනුව බස් රථ ප්‍රමාණය එකසිය විසිඑකක් දක්වා ඉහළ නැංවේ.

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් (පුද්.) සමාගම 2026 වසර තුලදී රුපියල් මිලියන 800 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇත. එලැඹෙන 2027 වසරේදී රුපියල් මිලියන 267.5 ක හිමිකම් ප්‍රාග්ධනයක් ලබාදී මෙහෙයුම් කටයුතු වඩාත් විධිමත් කිරීම සැලසුමයි.

ජපන් රජයේ පරිත්‍යාග වශයෙන් ලැබුණු බස් රථ බාරගැනීමෙන් අනතුරුව පැමිණ සිටි පිරිස ආමන්ත්‍රණය කල බිමල් රත්නායක අමාත්‍යවරයා ;
‘අපි ආණ්ඩුවක් විදියට මේ රට බාරගෙන වසර දෙකක් සම්පූර්ණ වෙනවා. මේ ආණ්ඩුවේ ආත්මය වෙන්නේ ජනතා කේන්ද්‍රීය සංවර්ධනයක් දියත් කිරීමයි. පොදු ජනතාවට සෙත සැලසෙන, තිරසර බවින් යුත් ව්‍යාපෘති සහ සංවර්ධන කටයුතු වෙනුවෙන් සැලසුම් දියත් කරන්න. විශේෂයෙන් ම අන්‍යයන් වෙනුවෙන් තමන්ගේ රාජකාරිය ඉටු කරන්න, අන්‍යයන් වෙනුවෙන් වැඩ කරන්න.’

මෙම අවස්ථාවට ජපාන තානාපති කාර්යාලයේ පළමු ලේකම් ෂිනිචි සකුරායි (Mr. Shinichi Sakurai), ජපාන තානාපති කාර්යාලයේ උපදේශිකා එරිකෝ කුරොකාවා (Ms. Eriko Kurokawa), කඩුවෙල මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් වන සෝමසිරි අමරසිංහ, නිමල් පත්මසිරි, රුවන් පතිරණ, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන් වන අවන්ති සේනාරත්න, තරණි ගමගේ, නිශාන්ති ජයසිංහ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) තුෂාර ඉදුනිල් ප්‍රනාන්දු, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ටී. පාස්කරන්, එහි අධ්‍යක්ෂ ජනරාල් එච්.එච්.එන්.ඒ. හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති සජීව නන්දන කනකරත්න, එහි ප්‍රධාන විධායක නිලධාරි ධම්මික රත්නායක, ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති පී.ඒ. චන්ද්‍රපාල, ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් (පුද්.) සමාගමේ සභාපති යූ.පී. තිලකරත්න, එහි ප්‍රධාන විධායක නිලධාරි බී.එම්. පියතිලක යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීහු රැසක් එක්ව සිටියහ.