නිමල් රාජපක්ෂ-
2026 සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවෙහි (Global Conscious Food Systems Summit – GCFSS) ප්‍රධාන දේශකවරිය ලෙස සහභාගී වීම සඳහා භූතානයේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, 2026 සැප්තැම්බර් 01 දින තිම්පු නුවරදී භූතාන අග්‍රාමාත්‍ය දාෂෝ ෂෙරින් ටොබ්ගේ මහතා හමුවූවා ය.
ශ්‍රී ලංකාව සහ භූතානය අතර දීර්ඝ කාලයක් පුරා පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ඉහළ නැංවීම පිළිබඳව මෙම හමුවේදී ප්‍රධාන අවධානය යොමු වූ අතර අධ්‍යාපනය, සෞඛ්‍යය, වෙළෙඳාම, සංචාරක කර්මාන්තය, ගුවන් සම්බන්ධතා සහ දෙරටේ ජනතාව අතර සබඳතා ඇතුළු දෙපාර්ශ්වයටම වැදගත් වූ පුළුල් ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් දෙපාර්ශවය අදහස් හුවමාරු කර ගත්හ.
මෙහිදී දේශගුණික විපර්යාසවලින් ඇතිවන අභියෝගවලට මුහුණ දීම, වන විනාශය වැළැක්වීම, පරිසරය ආරක්ෂා කිරීම සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්හ.
දීර්ඝ කාලයක් පුරා පවතින දෙරට අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමටත්, පොදු උනන්දුවක් දක්වන විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දෙරටටම ප්රතිලාභ සැලසෙන සහයෝගීතාව පුළුල් කිරීමටත් දෙරටේ කැපවීම මෙම හමුව මඟින් යළිත් තහවුරු කෙරිණි.
