Spread the love

නිමල් රාජපක්ෂ-

Ceylon Craft Community සභාපති සම්පත් ඇරහැපොළ මහතාගේ සංවිධානයෙන් පැවැත්වෙන ජාත්‍යන්තර අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය – 2026 “දෑතේ විස්කම් – Wisdom of Hands” වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේදී ආරම්භ විය.

අද හෙට සහ අනිද්දා( 22, 23 සහ 24)යන දිනවල පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සඳහා ඉන්දියාව, උස්බෙකිස්තානය, බංග්ලාදේශය, නේපාලය සහ මියන්මාරය ඇතුළු රටවල් කිහිපයක නිර්මාණ ශිල්පීන් සහභාගී වී සිටින අතර, ඔවුන්ගේ අත්කම් නිර්මාණ ප්‍රදර්ශනයට හා අලෙවියට ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලාංකික නිර්මාණ ශිල්පීන්ට ද සිය නිර්මාණ ප්‍රදර්ශනය කිරීමට මෙහිදී අවස්ථාව හිමිවිය.

උත්සවයේදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා, අත්කම් ශිල්පීන්ගේ නිර්මාණශීලීත්වය හා සංස්කෘතික අනන්‍යතාව ආරක්ෂා කරමින් ජාතික ආර්ථිකයට ඔවුන් ලබාදෙන දායකත්වය අගය කළේය.

සංචාරක කර්මාන්තයේ දියුණුව සමඟ අත්කම් නිර්මාණ ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, ශිල්පීන්ගේ කුසලතා හඳුනාගෙන ඒවා ඇගයීමට ලක් කිරීමත්, දේශීය හා ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් සහිත සහතිකකරණ අවස්ථා ලබාදීමත් සඳහා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය හරහා අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කරන බව සඳහන් කළේය.

විවිධ රටවල නිර්මාණ ශිල්පීන් එකම වේදිකාවකට එක් කරන මෙම ප්‍රදර්ශනය, ශ්‍රී ලාංකික අත්කම් නිර්මාණ ජාත්‍යන්තරයට හඳුන්වා දීමටත්, නව නිර්මාණ බිහිකිරීමට සහ වෙළෙඳපොළ අවස්ථා පුළුල් කිරීමටත් වැදගත් අවස්ථාවක් බවද ඔහු පෙන්වා දුන්නේය.