Spread the love


නිමල් රාජපක්ෂ

කල්පිටිය සේරක්කුලිය කලපුව ප්‍රදේශයේ ඊයේ ( 12 ) රාත්‍රී කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන එමින් තිබු බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් එක්සිය අසුවක (1180) පමණ තොගයක් සහ විදේශීය දුම්වැටි විසි දහසක් (20000) රැගත් ඩිංගි යාත්‍රා දෙකක් (02) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් කල්පිටිය සේරක්කුලිය කලපුව ප්‍රදේශයේඊයේ රාත්‍රී කාලයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් (02) පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදි, එම ඩිංගි යාත්‍රාතුල තිබී නීතී විරෝධී ලෙස රට තුළට රැගෙන ඒමට උත්සාහ කල, උර තිස් අටක (38) අසුරන ලද බීඩි කොළ තොගය හා විදේශීය දුම්වැටි තොගය ,සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම ඩිංගි යාත්‍රා දෙක මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට සමත්විය.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 23ක් සහ 45ක් වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරුවන්, ඩිංගි යාත්‍රා, බීඩි කොළ තොගය සහ විදේශීය දුම්වැටි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තුවට බාරදී ඇත.