Spread the love

මාලන් විතාන –

2026 තෙවන කාර්තුව සදහා විදුලි ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කරයි.


ජාතික පද්ධති මෙහෙයුම් සමාගම (NSO) තෙවන කාර්තුව සදහා ඉදිරිපත් කල විදුලි සැපයුම් පිරිවැය සමාලෝචනය කිරීමෙන් අනතුරුව කොමිෂන් සභාව විසින් මෙම තීරණය ගන්නා ලදී.

සියළු ගැලපීම් කිරීමෙන් අනතුරුව 2026 තෙවන කාර්තුවේදී විදුලිය සැපයීම සදහා වන පිරිවැය ඉහල යාම සියයට 0.3 කට (රුපියල් මිලියන 417කට) සීමා වී ඇති බව ඇස්තමේන්තු කර තිබේ. ඒ නිසා තුන්වන කාර්තුව සදහා විදුලි ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බවත් දෙවන කාර්තුවේ පැවති ගාස්තු ක්‍රමය මෙම කාර්තුව තුලදී ද බලාත්මක බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

විදුලි ගාස්තු අයක්‍රම ක්‍රමවේදය අනුව මේ වසරේ මුල් කාර්තුවේ ආදායම් අතිරික්තය හෝ හිගය තෙවන කාර්තුවේ ඇස්තමේන්තුගත පිරිවැයට ගැලපිය යුතු වේ. 2026 ප්‍රථම කාර්තුවේ ආදායම් හිගයක් ඇති වී තිබෙන අතර එය රුපියල් මිලියන 30,118කි.


මෙම හිගය තුල ගල් අගුරු වල තත්ත්වය හේතුවෙන් මුල් කාර්තුව තුලදී විදුලිය ජනනය සදහා වැය වු අතිරේක පිරිවැය ද ඇතුළත් කර තිබිණ. ගල් අගුරු තත්වය හේතුවෙන් විදුලි ජනනය සදහා වැය වන අතිරේක පිරිවැය විදුලි ගාස්තු වලට ඇතුලත් නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් මීට පෙර විදුලි ගාස්තු සංශෝධනයේදී තීරණය කර තිබිණ.

ඒ අනුව 2026 මුල් කාර්තුවේදී ගල් අගුරු තත්වය හේතුවෙන් විදුලි ජනනය සදහා වැය කල රු. මිලියන 3,366ක අතිරේක වියදම විදුලි ජනන වියදම් වලින් ඉවත් කිරීමට කොමිෂන් සභාව තීරණය කරන ලදී.


ඒ අනුව 2026 මුල් කාර්තුවෙන් තෙවන කාර්තුව සදහා ඉදිරියට ගෙන ආ යුතු වියදම් හිගය රු. මිලියන 26,753ක් විය. මෙම හිගය තෙවන කාර්තුවේ විදුලිය සැපයීම සදහා වැය වන වියදම වන රු. මිලියන 159,274ට එක් කල විට තෙවන කාර්තුව සදහා විදුලිය සැපයීමට වැය වන සමස්ත වියදම රුපියල් මිලියන 186,027ක් වේ.

වත්මන් විදුලි ගාස්තු මත පදනම්ව 2026 තෙවන කාර්තුව සදහා ආදායම ගණනය කල විට රු. මිලියන 156,244කි. විදුලි ගාස්තු අයක්‍රම ක්‍රමවේදයට අනුව 2025 වර්ෂය තුලදී ලැබු රුපියල් මිලියන 6,943ක ලාභ කොටසද තෙවන කාර්තුවේ ආදායමක් ලෙස එක් කල යුතුය. තවද විදුලි පාරිභෝගිකයන් සදහා රජය ලබා දුන් සහනාධාරය වන රුපියල් මිලියන 15,000න් තෙවන කාර්තුව සදහා අදාල වන රුපියල් මිලියන 9,650 ද ආදායමක් ලෙස එක් කල යුතු ය.
ඊට අමතරව ජාතික පද්ධති මෙහෙයුම් සමාගමේ ව්‍යාපාර කටයුතු ආරම්භ සදහා රජය ලබාදුන් සහනාධාර මුදල වන රුපියල් මිලියන 17,213ක ප්‍රතිපාදනද ආදයමක් ලෙස එක් කල යුතුය. ඒ අනුව තෙවන කාර්තුවේ සමස්ත ආදායම රු. මිලියන 185,610ක් වේ. තෙවන කාර්තුවේ විදුලි සැපයීමේ සමස්ත ආදායම (රු. මි. 186,027) වියදම (රු. මි. 185,610) අතර රුපියල් මිලියන 417 පමණි. මෙම තත්වය සැළකිල්ලට තෙවන කාර්තුව තුලදී විදුලි ගාස්තු සංශෝධනය නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කරන ලදී.