Spread the love

නිමල් රාජපක්ෂ

ප්‍රශ්න සහගත වූ දකුණු කොරියාවේ E 8 කාණ්ඩයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිටත් කිරීම නව රජය මැදිහත්වීම මත නව ගිවිසුම් අනුව ක්‍රියාත්මක කළ බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සඳහන් කරයි.

ඉතා අවිධිමත් හා අනීතිකව අත්සන් කරන ලද ගිවිසුම් හේතුවෙන් තරුණයන් රැසකට රැකියා සඳහා පිටත් වීමට නොහැකි වූ බවත් නව රජය බලයට පත්වීමෙන් අනතුරුව විෂය භාර අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් දකුණු කොරියාවේ පළාත් රැසක් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කළ අතර ඒ අනුව එහි පළමු පියවර ලෙස එරට යොන්වුල් පළාත සමඟ ඇති වූ එකඟතාවය මත කෘෂිකාර්මික ක්ෂේත්‍රයට තරුණ තරුණියන් 16 දෙනෙකු මේ මස 14 වැනි දින පිටත් කිරීමට අවස්ථාව හිමි වූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව මේ වනවිට E 9, E 7 හා E 8 කාණ්ඩ යටතේ ශ්‍රී ලාංකිකයන්ට දකුණු කොරියාවේ රැකියා අවස්ථා ලැබී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඍතුමය රැකියා සඳහා මාස අටක කාලයකට පිටත් යන මෙම පිරිස නියමිත කාලය අවසන් වීමෙන් අනතුරුව යළි ශ්‍රී ලංකාවට පැමිණිය යුතුය. එසේ නොමැති වුවහොත් ඉදිරි රැකියා අවස්ථාද අවදානමට ලක්වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ඉදිරියේදී තවත් රැකියා අවස්ථා රැසක් ලබා ගැනීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට විදේශ රැකියා හා විදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් සුදත් යාලේගම, කාර්යාංශ සභාපති කෝෂල වික්‍රමසිංහ, විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සභාපති ලාල් හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.