Spread the love

නිමල් රාජපක්ෂ-

ආරවුලක් ඇති වූ විට අධිකරණය වෙත යාමට පෙර, එය සාමකාමීව විසඳා ගැනීමට පවතින අවස්ථා පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතුයි.අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

අධිකරණ ඇමතිවරයා මෙම අදහස් පළ කළේ අද (14) පෙරවරුවේ කොළඹ,  ශ්‍රි ලංකා පදනම් ආයතනයේ පැවති 36 වන ජාතික සමථ දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්වෙමිනි. 

තවදුරටත් අදහස් පළ කළඅමාත්‍යතුමා මෙසේ ද සඳහන් කළේය.

36 වන ජාතික සමථ දිනය නිමිත්තෙන් පැවැත්වෙන මෙම වැදගත් සැමරුම් උත්සවයට සහභාගී වීමට ලැබීම පිළිබඳව මා ඉතා සතුටට පත්වනවා. ජාතික සමථ දිනය යනු හුදෙක් දින දර්ශනයේ සටහන් වන තවත් එක් දිනයක් නොවෙයි. එය අපගේ සමාජයට ඉතා වැදගත් පණිවිඩයක් ලබාදෙන අවස්ථාවක්. එම පණිවිඩය වන්නේ ආරවුලක් ඇති වූ සෑම අවස්ථාවකම විසඳුම විය යුත්තේ ගැටුම නොව, සාකච්ඡාව, අවබෝධය සහ සාමකාමී එකඟතාවය බවයි.

අප රටක් ලෙස ඉදිරියට යාමට නම්, ආර්ථික සංවර්ධනය පමණක් නොව නීතියේ ආධිපත්‍යය සුරැකෙන, සමානාත්මතාවය රජයන, සෑම පුරවැසියෙකුටම නීතියට සමාන ප්‍රවේශයක් සහතික වන සාධාරණ සමාජයක් අප ගොඩනැගිය යුතුයි. ඒ නිසාම, සෑම පුරවැසියෙකුටම නීතියේ ආරක්ෂාව සහ සාධාරණත්වය ලැබීම අපගේ ප්‍රධාන වගකීමක් වෙනවා

. මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීමේදී සමථකරණ ක්‍රියාවලියට හිමි වන්නේ ඉතාමත් වැදගත් ස්ථානයක් බව කිව යුතුයි. අපගේ අධිකරණ පද්ධතිය ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගයක් වන්නේ නඩු ප්‍රමාණය වැඩිවීම සහ ඒ හේතුවෙන් ඇතිවන ප්‍රමාදයයි. මෙවැනි තත්ත්වයක් තුළ, සෑම ආරවුලක්ම අධිකරණය වෙත ගෙන යාම වෙනුවට, හැකි සෑම අවස්ථාවකදීම පාර්ශ්වකරුවන් අතර සාකච්ඡාවෙන් හා එකඟතාවයෙන් ආරවුල් විසඳා ගැනීමට අවස්ථාව ලබාදීම ඉතා වැදගත් වෙනවා.

අප රටේ සමථකරණ ක්‍රියාවලිය එම කාර්යය ඉතා සාර්ථකව ඉටු කරමින් සිටිනවා. ලක්ෂ දෙකක් පමණ නඩු සමථ මණ්ඩලය විසින් නිරාකරණය කර තිබෙනවා. ඔබ එය නොකර තිබුණා නම් තවත් ලක්ෂ දෙකකින් නඩු සංඛ්‍යාව වැඩි වෙනවා. දිවයින පුරා පිහිටි සමථ මූල මණ්ඩල වෙත වසරකට ආරවුල් ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක් අලුතින් යොමු වීමෙන්ම, අපේ ජනතාව තුළ මෙම ක්‍රියාවලිය කෙරෙහි ඇති විශ්වාසය සහ එහි වැදගත්කම පැහැදිලි වෙනවා. මෙම ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම තුළින් අධිකරණය වෙත ගොඩගැසීමට ඉඩ තිබෙන නඩු ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමට අපට හැකියාව ලැබෙනවා.

විශේෂයෙන්ම, 2026 වසර සමථකරණ ක්‍රියාවලිය සඳහා සුවිශේෂී වසරක් ලෙස සඳහන් කළ හැකියි. මෙවර අයවැය මගින් සමථ මණ්ඩල කොමිෂන් සභාව සඳහා රුපියල් මිලියන 800 කට අධික ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. මෙම ප්‍රතිපාදන මගින් ප්‍රමාද වී පැවති පුහුණු වැඩමුළු පැවැත්වීමටත්, සමථකරුවන් පත් කිරීමේ කටයුතු නිසි පරිදි සහ නිසි කාලයට සිදු කිරීමටත් හැකියාව ලැබෙනවා. එමෙන්ම, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ක්‍රියාත්මක වන ප්‍රජා සමථ මූල මණ්ඩල තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අප කටයුතු කර තිබෙනවා.ඉඩම් ආරවුල් සම්බන්ධයෙන් විශේෂ සමථ මණ්ඩල දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි පිහිටුවීමට පසුගිය වසරේ අපට හැකියාව ලැබුණා. එමෙන්ම, අධිකරණය වෙත යොමු වන මූල්‍ය ආරවුල් ප්‍රමාණය අඩු කිරීම සඳහා විශේෂ මූල්‍ය ආරවුල් සමථ මණ්ඩල හඳුන්වා දී තිබෙනවා.

එහි පළමු අදියර ලෙස කොළඹ, ගම්පහ, අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර සහ මොණරාගල යන දිස්ත්‍රික්ක 06 ක විශේෂ මූල්‍ය ආරවුල් සමථ මණ්ඩල පිහිටුවීමට කටයුතු කර තිබෙනවා. මෙවැනි වැඩපිළිවෙළවල් තුළින් අප බලාපොරොත්තු වන්නේ අධිකරණ පද්ධතියට ඇති පීඩනය අඩු කිරීම පමණක් නොවෙයි. අපගේ ප්‍රධාන අරමුණ වන්නේ ජනතාවට ඉක්මන්, සාධාරණ සහ සාමකාමී ආරවුල් විසඳුමක් ලබාදීමයි. ඒ සඳහා තාක්ෂණයද අප භාවිත කළ යුතුයි.

අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළට සමගාමීව, සමථ මණ්ඩලවල ආරවුල් දත්ත කළමනාකරණ පද්ධතියක් හෙවත් Dispute Data Management System එකක් ස්ථාපනය කිරීමට කටයුතු කරමින් සිටිනවා.

එහි මුල් අදියර ලෙස විශේෂ ඉඩම් සමථ මණ්ඩල වෙත යොමු වී ඇති ආරවුල්වල දත්ත එම පද්ධතියට ඇතුළත් කිරීම මේ වන විට සාර්ථකව සිදු කරමින් පවතිනවා. අපි නවීන තාක්ෂණය භාවිත කළ යුත්තේ ජනතාවගෙන් දුරස් වීමට නොවෙයි. ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම සඳහායි. මෙම අවස්ථාවේදී, අපගේ විශේෂ ගෞරවය හිමි විය යුතු පිරිසක් පිළිබඳව සඳහන් කළ යුතුයි.

අප රට පුරා කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව ඉතාමත් කැපවීමෙන් සේවය කරන 9000 කට අධික සමථකරුවන් ගේ සේවය අගය කළ යුතුයි. තම කාලය, දැනුම සහ අත්දැකීම් සමාජය වෙනුවෙන් කැප කරමින්, ගැටුම් ඇති පාර්ශව දෙකක් අතර සාමකාමී එකඟතාවයක් ඇති කිරීම පහසු කාර්යයක් නොවේ. එබැවින්, මේ මහඟු කර්තව්‍යය වෙනුවෙන් කැපවී සිටින සියලුම සමථකරුවන් වෙත රජයේත්, ජනතාවගේත් ගෞරවය සහ ස්තූතිය පිරිනමනවා. එමෙන්ම, අද දින අපගේ ආරාධනයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට මෙහි පැමිණ සිටින සමථ මූල මණ්ඩලවල ගරු සභාපතිවරුන්ගේ සේවයද අපි ඉතා ඉහළින් අගය කරනවා. සමථකරණ ශිල්පීය දක්ෂතා පිළිබඳ පුහුණු වැඩමුළු පවත්වමින්, සමථකරණ සංකල්පය නිවැරදිව සමථකරුවන් වෙත අවබෝධ කරදීමට කටයුතු කරන සමථ පුහුණු නිලධාරීන් වෙතද අපගේ ස්තූතිය හා ගෞරවය පළ කරනවා.

එමෙන්ම, දිවයින පුරා පිහිටි ප්‍රජා සමථ මණ්ඩල 332 ක් සහ විශේෂ සමථ මණ්ඩල 31 ක් සම්බන්ධීකරණය කරමින්, මෙම ක්‍රියාවලියට අවශ්‍ය පහසුකම් සලසන සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපතිතුමා, කොමසාරිස්වරුන්, ලේකම්තුමිය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයටද මාගේ ස්තූතිය පිරිනමනවා. අපගේ ඉදිරි අරමුණ විය යුත්තේ මෙම පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමයි. සමථකරණය පිළිබඳ ජනතාව තුළ ඇති දැනුවත්භාවය වැඩි කළ යුතුයි. ආරවුලක් ඇති වූ විට අධිකරණය වෙත යාමට පෙර, එය සාමකාමීව විසඳා ගැනීමට තිබෙන අවස්ථා පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතුයි. නඩුවක් ජයග්‍රහණය කිරීමකට වඩා ආරවුලක් සාමකාමීව අවසන් කර ගැනීම සමාජයට වඩාත් වටිනා ජයග්‍රහණයක් ලබා දිය හැකියි.

අපට අවශ්‍ය වන්නේ ආරවුල් වැඩි වන සමාජයක් නොවෙයි. අපට අවශ්‍ය වන්නේ ආරවුල් සාකච්ඡාවෙන් විසඳා ගන්නා, නීතියට ගරු කරන, එකිනෙකාට ගරු කරන, සාමය සහ සහජීවනය අගය කරන සමාජයක්. එම සමාජය ගොඩනැගීමේදී සමථකරණ ක්‍රියාවලියට ඉතා විශාල වගකීමක් තිබෙනවා. අද 36 වන ජාතික සමථ දිනය සමරන මෙම අවස්ථාවේදී, අප සියලු දෙනා එක්ව එම වගකීම තවදුරටත් ශක්තිමත්ව ඉටු කිරීමට අධිෂ්ඨාන කර ගනිමු. සමථකරණ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීමටත්, ජනතාවට කාර්යක්ෂම හා සාධාරණ සේවාවක් ලබාදීමටත්, අපගේ සියලුම සමථකරුවන්ට, සමථ මණ්ඩල සභාපතිවරුන්ට, පුහුණු නිලධාරීන්ට සහ සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සියලුම නිලධාරීන්ට ශක්තිය, ධෛර්යය සහ කැපවීම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන්, නීතියේ ආධිපත්‍යය සුරැකෙන, සාමය සහ සාධාරණත්වය රජයන, ආරවුල් සාමකාමීව විසඳා ගන්නා යහපත් සමාජයක් ගොඩනැගීම සඳහා අප සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවද අමාත්‍යතුමා සඳහන් කළේය.